October 19, 2017

හෙට උතුරේ හර්තාල්

දෙමළ ජාතික සන්ධානයට අනුබද්ධිත ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් හෙට  (13) උතුරු ප්‍රදේශය පුරා හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කොට තිබේ.

මෙම හර්තාලය දියත් කිරීමට හේතුව වශයෙන් ඔවුන් සදහන් කරන්නේ අත් අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් වවුනියාව අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු තුනක් අනුරාධපුර අධිකරණය වෙත මාරු කිරීමට විරෝධය පලකිරීම පිණිස බවයි.

එම නඩු විභාගයන් අනුරාධපුර අධිකරණයක් වෙත මාරු කිරීම නිසා මෙම සැකකරුවන්ට විශාල අවාසියක් සිදු වන බව පෙන්වා දෙන හර්තාලයේ සංවිධායකවරු තවදුරටත් කියා සිටින්නේ දෙමළ ජාතිකයින්ගේ නඩුවලදී දකුණේ අධිකරණවලදී භාෂා පරිවර්තන ක්‍රියාවන්වලදී දැඩි අසාධාරණයක් සිදුවන බවයි.

වවුනියාව අධිකරණය තුළ ගොණු කොට ඇති මෙම නඩු අනුරාධපුර අධිකරණය වෙත මාරු කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද වවුනියාව අධිකරණ සංකීර්ණය තුළ සියළුම අධිකරණයන් ස්ථාපිත කොට තිබියදී එවැන්නක් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

සිකුරාදා පැවැත්වෙන හර්තාලයට සහය දැක්වීම පිණිස සියළුම වෙළෙද සැල් වසා දමන ලෙසත්,ගමනා ගමන කටයුතු සදහා බස් රථ නොයොදවන ලෙසත් ඉල්ලා සිටින සංවිධායකයෝ මෙදිනට රජයේ කාර්යාල,පාසල් හා බැංකු වසා දැමීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලීමක් කොට තිබේ.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)