September 23, 2017

පිළිකා රෝහලට ගේන්න ගිය පෙට් ස්කෑනර් යන්ත්‍රයට මොකද වුණේ? සවි කිරීමේ තැන තවම ඉදිකර නෑ

මහරගම පිළිකා රෝහල වෙනුවෙන් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමට මුල්වූ කඩිජා පදනමේ නිර්මාතෘ මොහොමඩ් මහතාගේ පුතු හමීඩ් මොහොමඩ් පසුගිය 12 වනදා පෙරවරුවේ ජිවිතක්ෂයට පත්විය.

හමීඩ් පිළිකා රෝගයකට ගොදුරුව සිටි අතර ඔහු මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන විට එහි විශාල අඩුවක්ව පැවති පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් සිය පියා හරහා ජනතාවගෙන් මුදල් එක් රැස් කිරීම ආරම්භ කළේය.

ඒ අනුව එකතු වූ රුපියල් මිලියන 200ක මුදල පසුව සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දුන් අතර එය මිලදී ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටි අතරතුර හමීඩ් සිය ජිවිතයෙන් සමුගත්තේය.

මේ හේතුවෙන් ජනතාව යළි ප්‍රශ්න කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදුන් මුදලින් තවමත් පෙට් ස්කෑනර් යන්ත්‍රය මිලදී ගෙන නැත්තේ ඇයිද යන්නයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් පෙට් ස්කෑන් යන්ත්‍රය ලබන නොවැම්බර් මාසය වන විට මහරගම අපේක්ෂා (පිළිකා) රෝහ‍ලේ ස්ථාපිත කළ හැකි බවයි.

ඔක්තෝබර් මාසය වන විට එම යන්ත්‍රය මෙරටට ගෙන ඒමට හැකි වුවද එය රෝහ‍ලේ ස්ථාපිත කිරීම සඳහා සෑදිය යුතු විශේෂ බංකරය මේ වන විටත් සාදා නොමැති වීම හේතුවෙන් පෙට් ස්කෑන් යන්ත්‍රය ගෙන ඒම ප්‍රමාද වීමට හේතුවක් වී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් පෙට් ස්කෑන් යන්ත්‍රය මෙරටට ගෙන ආවද එය ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අපට ආසන්න රටකින් ගෙන්වා ගත යුතු බවත් ඒ සඳහා මේ වන විටත් විශේෂ සොයා බැලීමක් සිදුකරන බවත් වෛද්‍ය ජයසුන්දර මහතා පැවසී ය.

පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට මුල් වූ දරුවා මියයෑම පිළිබඳවද තමා කනගාටු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය.

පිළිකා රෝහලට පෙට් ස්කෑනයක් මිලදී ගන්න මුල් වූ හමීඩ් දිවියෙන් සමුගනී

Rate this item
(1 Vote)
Last modified on Thursday, 14 September 2017 11:26