November 22, 2017

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති පුටුව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස ව්‍යාපාරිකයකු වන සේන සූරියප්පෙරුම මහතා පත් කරනු ලැබ සිටී.

හිටපු සභාපති රොමේෂ් ජයවර්ධන මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබීමෙන් පසු පුරප්පාඩු වූ සභාපති ධූරයට එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා ජනාධිපතිවරයාගේ නිර්දේශය මත, සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කර ඇත.

කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන සූරියප්පෙරුම මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ගෞරව) උපාධිය ලබාගෙන ඇත.

ලංකා බැංකුවේ අභ්‍යාසලාගී කළමනාකරුවෙකු වශයෙන් කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසි මොහු, පසුව සෙලාන් බැංකුවේ ප්‍රධාන කළමනාකරුවෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කර ඇත. බැංකු ක්ෂේත්‍රෙයන් ඉවත්ව, ලංකා සිමෙන්ති සමාගමේ සභාපතිවරයා ලෙසත්, සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, සමෘද්ධි අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙසත්, පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් පසුගිය කාලය තුළ දී කටයුතු කළ ඇති අතර, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු ලෙස ද සේවය කර ඇත.

2000 වර්ෂයේදී බැංකු ක්ෂේත්‍රෙයන් හා රාජ්‍ය අංශයට සමුදුන්, සූරියප්පෙරුම මහතා ජාත්‍යන්තර ෆාම් තෙල් නිෂ්පාදන සමාගමක් වන විල්මාර් ජාත්‍යන්තර සමාගමේ අනුබද්ද සමාගමක් වූ පිරිමිඩ් ලංකා සමාගමේ ශ්‍රී ලාංකීය ෆාම් තෙල් පිරිපහදුවේ ආරම්භක සාමාන්‍යාධිකාරිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස 2012 වසර දක්වා කටයුතු කරමින් ආහාරමය තෙල් පිරිපහදු ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට දායක වී ඇත.

විල්මාර් ජාත්‍යන්තර සමාගම් සමූහයේ (Willmar International) විල්මාර් අප්‍රිකානු සමාගමේ අධ්‍යක්ෂවරයෙකු සහ සාමාන්‍යාධිකාරිවරයා ලෙසත් බෙන්සෝ ඔයිල් ෆාම් වැවිලි සමූහයේ අධ්‍යක්ෂකවරයකු සහ විගණන කමිටු සාමාජිකයකු ලෙසත්, ඝානා රාජ්‍යයේ වසර හතරක කාලයක් කටයුතු කර ඇති අතර, විල්මාර් ඔලිවින් (Willmar Olivin) සිම්බාබ්වේ සමාගමේ ප්‍රධාන ව්‍යාපාර කළමනාකරු වශයෙන් වසරක කාලයක් කටයුතු කර ඇත.

සේන සූරියප්පෙරුම මහතා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ විශ්ලේෂණය කිරීමේ නියළුණු අතර ජාතික පුවත්පත් කිහිපයකට ව්‍යාපාර, මූල්‍ය හා සංවර්ධන කටයුතු සම්බන්ධ තීරු ලිපි ලේඛකයෙකු වන අතර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ “සතියේ ආර්ථික විමසුම” සංකල්පය ඉදිරිපත් කර දීර්ඝ කාලයක් එම වැඩසටහනට පවත්වාගෙන යාමට දායක වී ඇත.

මීට අමතරව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එච්.ආර්.පියසිරි මහතා පත් කරනු ලැබ සිටී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 September 2017 10:48