September 23, 2017

ඇමැතිකමෙන් දොට්ට දැමූ අරුන්දික ජනපති සමග උත්සවයකට යයි

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) විවෘත කෙරිණි.

මේ අතර සුවිශේෂී සිදුවීමක් වූයේ එම අවස්ථාව සඳහා පෙරේදා (12) අමාත්‍යධුරයෙන් ඉවත්කෙරුණු අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද එක්ව සිටීමයි.

සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප‍්‍රනාන්දු මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි පෙරේදා(12) එම ධූරයෙන් ඉවත් කළේය.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය පෙරේදා සිට බලපැවැත්වේ.

කෙසේවෙතත් එම උත්සවයට අමාත්‍ය චන්දිම වීරක්කොඩි, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ප‍්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් පී. රණේපුර මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව කැලණි පාලම ඉදිකිරීම් ව්‍යාපෘතිය සඳහා භූමිය අත්පත් කරගැනීමේදී ඔරුගොඩවත්තේ පිහිටි මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය පිහිටි භූමියද අත්පත්කර ගැනිණි. ඒ අනුව ජපන් සහයෝගීතා ණය ආධාර යටතේ රුපියල් මිලියන 1540 ක මුදලක් වැයකරමින් ඔරුගොඩවත්තේ නව භූමියක ඉදිකෙරුණු මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය අති නවීන තාක්ෂණ ශිල්පීය ක‍්‍රම අධ්‍යයනය කළහැකි අයුරින් නිමවා තිබෙන අතර පරිපාලන සහ පුහුණු ඒකක වර්ග මීටර් 8,000 කින් යුක්ත වේ.

වැඩ ඒකකවල තිබූ පුහුණු යන්ත‍්‍රසූත‍්‍ර හා උපකරණ හානියකින් තොරව ප‍්‍රතිස්ථාපනය, නවීන තාක්ෂණික ක‍්‍රම අධ්‍යයනය සඳහා පුහුණු කිරීමේ යන්ත‍්‍ර 05 ක් අලුතෙන් එක්කිරීම, අලුතින් සිසුන් වැඩි පිරිසක් ඇතුළත් කරගැනීමේ හැකියාව පැවතීම සහ අනාගත අවශ්‍යතා අනුව තවත් ඉඩකඩ අවශ්‍ය නම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් තට්ටු 05 සිට 10 දක්වා වැඩිකරගත හැකි පරිදි මූලික ඉදිකිරීම් නිමකර තිබීම විශේෂත්වයකි.

ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 September 2017 16:06