September 23, 2017

ජාතික ආර්ථික සභාව ජනපති ප්‍රධානත්වයෙන් පළමු වරට රැස්වේ

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජාතික ආර්ථික සභාව පළමු වරට ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

දේශීය කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ක්ෂේත‍්‍රය සඳහා ප‍්‍රමුඛතාවය ලබා දෙමින් රටේ ජාතික ආර්ථිකය පිළිබඳව තීන්දු තීරණ ගැනීම ජාතික ආර්ථික සභාවේ ප‍්‍රමුඛ වගකීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳව අවශ්‍ය මූලික කරුණු පිළිබඳව අවශ්‍ය අවස්ථාවන්වලදී රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම ව්‍යවසායකයින්ද කැඳවා සාකච්ඡා පවත්වන බව කියා සිටියේය.

විශේෂයෙන්ම දිළිඳුකම පිටුදකිමින් ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා ගතයුතු පියවර කඩිනමින් කි‍්‍රයාවට නැංවීම ජාතික ආර්ථික සභාවේ අරමුණ බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

ආර්ථික ප‍්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය කටයුතු, රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.

ප‍්‍රාදේශීය වශයෙන් සිදුවන යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර එක් එක් අමාත්‍යාංශ සහ ආයතන සඳහා වාර්ෂිකව අය වැයෙන් වෙන් කරන ප‍්‍රතිපාදන අදාළ සංවර්ධන කාර්යයන් සඳහා වැය නොකර ආපසු මහා භාණ්ඩාගාරය වෙත හරවා එවීමෙන් රටේ සංවර්ධනයට සහ මහජන සුබසාධනයට සිදුවන අසාධාරණය පිළිබඳව ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.

දිස්ති‍්‍රක් මට්ටමින් අදාළ මහජන නියෝජිතයින්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීම්වලදී ගන්නා තීන්දු තීරණ නිසි ලෙස කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා ලබාදෙන ප‍්‍රතිපාදන නිසි සංවර්ධන කාර්යයන් සඳහා යෙදවීම පිළිබඳව ද ජනාධිපතිවරයා කරුණු පෙන්වා දුන්නේය.

ග‍්‍රාමීය මට්ටමින් මුල්‍ය සමාගම් හරහා සිදුවන අවිධිමත් ණය නිකුත් කිරීම් හේතුවෙන් ග‍්‍රාමීය ජනතාවගේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව ද ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානය යොමු කරනු ලැබීය.

ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට ඝෘජුවම අදාළ උපායමාර්ගික වශයෙන් වැදගත් ප‍්‍රතිපත්ති, ගිවිසුම් හා ව්‍යාපෘති පිළිබඳව උපදෙස් හා මාර්ගෝපදේශනය සැපයීම ජාතික ආර්ථික සභාවේ විෂය පථයට අයත් වේ.

ජාතික ආර්ථික සභාව සෑම සති දෙකකට වරක්ම ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

මෙම සභාවේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පත් කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවට අනුමැතිය හිමි වී තිබේ.

 

Rate this item
(0 votes)