September 23, 2017

මුරලිගේ නම රැකගන්න පියා මහ නා හිමි හමුවට

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මුත්තයියා මුරලිදරන්ගේ නමින් නම් කර තිබූ බවත් මේවන විට ඒ නම ඉවත් කර ඇති බවත් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ පියා පවසයි.

ක්‍රීඩා අමත්‍යවරයා සමඟ සාකච්ඡා කොට මෙම ගැටළුව විසදීමට මැදිහත් වන ලෙස ඉල්ලා  මුත්තයියා මුරලිදරන්ගේ පියා ඊයේ (12) මල්වතු පාර්ශ්වයේ මහ නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් බැහැ දැක්කේය.
 
එහිදී මාධ්‍යයට මුරලිදරන්ගේ පියා මෙසේ  අදහස් දැක්වීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී  පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මුත්තයියා මුරලිදරන් නමින් නම් කර තිබුණත් මේ වනවිට ඒ නම ඉවත් කර ඇති බවත්  මුත්තයියා මුරලිදරන් කඩුළු 800 ලබා ගත් අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා පල්ලේකැලේ ක්‍රීඩාංගණය මුරලිදරන් නමින් නම් කරන බවට ගුවන් විදුලියේ පවා ප්‍රචාරය කළ බව මුරලිදරන්ගේ පියා මෙහිදී කියා සිටියේය.

පල්ලේකැලේ ක්‍රීඩාංගණය යලිත් මුත්තයියා මුරලිදරන්ගේ නමින් නම් කරන ලෙස ඉල්ලා සිටින ඒ මහතා කියා සිටියේ මහනායක හිමියන් ක්‍රීඩා අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට ගැටළුව විසදීමට ක්‍රියා කරන බවට තමන්ට පොරොන්දු වූ බවයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 14 September 2017 13:30