December 15, 2017

සමෘද්ධි ප්‍රතිශෝධන වැඩසටහන එස්.බී හකුලා ගනී

සමෘද්ධි සහනාධාරය කිසිසේත් කප්පාදු කිරීමක් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

ඉඩම් ඔප්පු ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ඇඹිලිපිටියේදී  අද (11) පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා පැවසීය.

එමෙන්ම වත්මන් රජය තීන්දු ගනු ලබන්නේ ජනතාවගේ ආර්ථිකය පිළිබඳව සිතමින් බවත් සමෘද්ධි සහනාධාර හිමි විය යුතු පවුල් සොයා  ඒවා ලබාදීමට කටයුතු කරන බවත් සහනාධාර කප්පාදු කිරීමක් හෝ අඩු කිරීමක් සිදු නොකරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් දේශපාලන උසිගැන්වීම් මෙන්ම නොමඟ යැවීම් රැසක්ද දක්නට ලැබෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ අතර ආණ්ඩුව ජනතාවගේ සහනාධාර කප්පාදු කරමින් දිළිඳුකම පිටු දැකීමේ වර්ෂය සැමරීමට සූදානම් වන බව සමස්ත ලංකා සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර මහතා පෙන්වා දෙන්නේ ජනතාවට ලැබුණු සහනාධාර කපාහරිමින් ආණ්ඩුව තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ උත්සහයක නිරතව සිටින බවයි.

කොළඹ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජගත් කුමාර මහතා ප්‍රකාශ කළේ රජය ගෙන යන මෙම වැඩපිළිවෙළට විරුද්ධව ඉදිරි සතිය තුළ රට පුරා විරෝධතා රැල්ලක් සූදානම් කරන බවයි.

මේ අතර සමෘද්ධි අමාත්‍යංශය මගින් ආරම්භ කර ඇති සමෘද්ධි ප්‍රතිශෝධන වැඩසටහන නතර කිරීමට ඇමැති එස් බී දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ (10) රාත්‍රී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

 

Rate this item
(0 votes)