October 19, 2017

බැදුම්කර කොමිසම ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පැමිණිල්ලක්

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට අද (11) ලිපියක් බාර දී ඇත.

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අගමැතිවරයා අතර වූ සාකච්ඡාවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි.

නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව මෙම ලිපිය බාර දී ඇති බව වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාවලියත්, බැඳුම්කර කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකුගේ ක්‍රියාකලාපයත් සම්බන්ධයෙන් ඉහත සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අගමැතිවරයා හමුවේ තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.

බැඳුම්කර කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ එක් ඉහළ නිලධාරියකු පසුගිය රජය සමයේ දෙපාර්තමේන්තුවෙන් වැටුප් ගන්නා අතරම අධික මුදලක් ලබමින් ශ්‍රී ලංකා මහ බැංකුවට උපදේශන සේවා සපයා ඇති බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අගමැතිවරයා හමුවේ සාක්කි සහිතව තොරතුරු ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල උපරිම ලෙස යොදා ගනිමින් ස්ත්‍රී දූෂණයක් යටපත් කිරීමට ගැනුණු සංවිධානාත්මක වැඩපිළිවෙළක් පිළිබඳව ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු දක්වා ඇති අතර බැඳුම්කර කොමිසමේ ක්‍රියා කරන නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් ඉහළ නිලධාරියකු සුනාමි මුදල් වංචාව හමුවේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව ද ඉහත සාකච්ඡාවේදී තොරතුරු ගණනාවක් අනාවරණය වී ඇත.

ඉහත සියලු තොරතුරු සැලකිල්ලට ගනිමින් බැඳුම්කර කොමිසමේ ක්‍රියාකරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව දරන ස්ථාවරය රටට ප්‍රකාශ කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුව් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

-ලංකාදීප-

Rate this item
(0 votes)
Last modified on Friday, 11 August 2017 14:03