March 29, 2024

එපාර්ට්මන්ට් එක ගැන මම දන්නේ නෑ, ඇලෝසියස් ඒක දුන්න බව දන්නවා නම් මම එ්කේ ඉන්නෙත් නෑ - රවී

කොල්ලූපිටියේ ‘මොනෑක්‘ මහල් නිවාස සංකීර්ණයෙහි (Monarch Residencies) පිහිටි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැනීමට කටයුතු කොට ඇත්තේ තම බිරිය සහ වැඩිමහල් දියණිය ඔනෙලා අධ්‍යක්ෂධූර දරණ සමාගමකින් බවත් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ඊයේ (02) පැවසීය. මෙහිදී විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පැය 4 1/2 ක පමණ කාලයක් පුරා ප්‍රශ්න කරමින් කොමිසම සාක්කි විමසා ඇත.

අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ ඔවුන් එය බද්දට ගනු ලැබුවේ තමා 2001 වෙළෙඳ ඇමැති ධුරය දැරූ අවස්ථාවේ සතොස සභාපති ලෙස ක්‍රියා කල නහිල් විජේසූරිය මහතාගේ දියණිය වන අනිකා විජේසූරිය මෙනවියගෙන් බවත්ය. දේශපාලනඥයන්ට එම නිවස බදු දීමට අනිකා මෙනවිය අකමැති වුණු බැවින් ඇගේ සමීපතමයෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතා හරහා මෙම බදුදීම සිදුකර තිබෙනවා.මෙම අධි සුඛෝපභෝගී මහල් නිවස (Penthouse) මිලට ගෙන ඇත්තේ ජී.වී.එල්. සමාගමයි. එම සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස ක්‍රියා කර වසර 2015 දී තමා ඉන් ඉවත්වූ අතර එහි කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දියානු ජාතිකයකු වන එංගලන්තයේ පදිංචි ටී. වී. ලක්ෂ්මී කාන්තන් මහතා බවත් සඳහන් කෙරිණි. තමා හොඳ පවුල් ජීවීතයක් ගත කළත් ගණුදෙනු පිළිබඳ සෑම තොරතුරක්ම ඔවුන් තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද තමන් වැඩි වේලාවක් ගතකරනුයේ අමාත්‍යංශයේ බවත් ප්‍රකාශ කළේය.

තවද වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගම කුමන ව්‍යාපාරයක යෙදෙනවාද යන්න හෝ එහි අධ්‍යක්ෂකවරුන්  පිළිබඳව හෝ තමන් නොදන්නා අතර එහි කටයුතු කරන ලද්දේ තම පවුලේ අය බවද ප්‍රකාශ කොට ඇත. නිවස මිළඳී ගැනීම සඳහා රුපියල් මිලියන 165ක් ගෙවූ බව නොදන්නා බවත් එය බිරිඳගේ සමාගමේ උපදෙස් මත සිදු කරන ලද්දක් බවත් සඳහන් කෙරිණි. මෙම නිවස බද්දට ගත් වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගම අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් අර්ජුන් ඇලෝසියස් කටයුතු කරන බව නොදන්නා බවත් එසේ දැන ගෙන සිටියා නම් එහි පදිංචියට යන්නේ නැති අතර ඒ පිළිබඳව සොයා බැලූවේ මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පාර්ලිමේන්තුවේදී හෙලි කළ කරුණු වලින් පසුව බවත් පැවසීය. බිරිඳ සහ දියණිය දේශපාලන කටයුතු යෙදෙන්නේ නැති නිසා මෙම කරුණු පිළබඳව නොදන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 August 2017 15:47