April 25, 2024

මුදල් මංගලට, විදෙස් රවීට - කැබිනට් සංශෝධන මෙන්න

අද (22) පෙරවරුවේ සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී බොහෝ දුරට මුදල් අමාත්‍ය ධූරය මංගල සමරවීර මහතාටත් විදේශ කටයුතු ඇමැති ධූරය රවී කරුණානායක මහතාටත් හිමිවීමේ ඉඩකඩක් පවතින බව රජයේ ඉහළ පෙලේ ආරංචි සඳහන් කරයි.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කිහිපදෙනකුගේ ඇමැති ධූරවල වෙනසක් සිදුවන නමුත් මෙතෙක් එජාපයට හිමි ඇමැති ධූර එම පක්ෂයේම කෙනකුටත් ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ එම පක්ෂයේ ම ඇමැතිවරුන්ටත් හිමිවනු ඇතැයි එම ආරංචි පවසයි.

මේ වන විට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යධූරය දරමින් සිටින ගයන්ත තරුණාතිලක මහතාට රාජ්‍ය පරිපාලන අමාත්‍යධූරය ලබාදීමට තීරණය කර ඇති බවත් ජෝන් අමරතුංග මහතා කටයුතු කරන ඉඩම් ඇමතිධූරය, රංජිත් මද්දුම බණ්ඩාර මහතා හට ලබාදීමට තීරණය වී ඇති බවත් වාර්තා වේ. 

තවද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලඥයින් වන මහින්ද අමරවීර සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් හට දැනට පවතින ඇමතීධූර වලට අමතරව තවත් බලතල සහිතව ඇමතිධූර හිමිවීමට ඉඩ ඇති බවට එම ආරංචි මාර්ග පැවසී ය.

තවත් නව ඇමතිධූර තුනක් අලුතින් පිරීනැමීමට තීරණය වී තිබෙන බවද එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මේ වන විට මුදල් ඇමතිධූරය දරණ රවී කරුණානායක මහතා හට ලබාදීමට යෝජනා වී ඇත්තේ විදේශ කටයුතු ඇමතිධූරය බවත් ඔහු ඒ සඳහා මේ වන විටත් කැමැත්තක් ප්‍රකාශ කර නොමැති බවත් එම ආරංචි මාර්ග පැවසී ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට්‌ ඇමැතිවරුන් සඳහා හදිසි රැස්‌වීමක්‌ අද (22දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර අද උදෑසන (22) උදෑසන 8.30 වන විට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස කැබිනට් ඇමතිවරුන්ට දැන්වීමට කටයුතු කර ඇත.

 මෙම රැස්‌වීම සඳහා අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කැඳවා ඇත.

පසුගිය සිකුරාදා 19 දා රාත්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර එහිදී කැබ්නට්‌ සංශෝධනයක්‌ සිදුකළ යුතු බවට එක්‌සත් ජාතික පක්‌ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය එකඟතාවකට පැමිණි බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

 

.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 May 2017 09:56