March 29, 2024

උතුරට අවශ්‍ය විසදුම විග්නේස්වරන් ඇමරිකාවට කියයි

ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩල සභිකවරයෙකු සහ ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිවරයා ඊයේ (14) උතුරු පලාත් මහ ඇමැති සී.වී.විග්නේස්වරන් මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ.

ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩල සභික බිල් ජොන්සන් හා මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂප් යන මහත්වරුන් විසින් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් උතුරු පලාත් මහ ඇමැතිවරයා කියා සිටියේ,

“මේ වෙන කොට උතුරු නැගෙනහිර ජනතාවට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. එහිදී මූලික වශයෙන් ඉඩම් ගැටලු, නැවත පදිංචි වීමේදී ඇති වී තිබෙන ගැටලු වගේම යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ ගැටලු සමබන්ධයෙන් හා ජිනීවා සාකච්ඡා පිළිබඳවත් අපි දීර්ග වශයෙන් සාකච්ඡා කළා. 

“මේ සියලු ගැටලු වලට ෆෙඩරල් පාලනයකින් විසඳුම් සෙවිය හැකි බවට මම දැනුම් දුන්නා. මේ වෙන කොට උතුරේ ජනතාවට පවතින ගැටලු වලින් ඉඩම් ගැටලු, රැකියා ගැටලු වගේම අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් දියත් කර ඇති සත්‍යග්‍රහයන් ගැන මා විසින් ඔවුන් දැනුවත් කරා. එහිදී මේ ගැටලු වලට විසඳුම් ලබා දීමට රජය සමග සාකච්ඡා කිරීමට ඇමරිකාවෙන් සහය ඉල්ලා සිටියා. එහිදී ඔවුන් මේ සමබන්ධයෙන් රජයේ පාර්ශව සමග සාකාච්ඡා කරන්න යම් කාලයක් අවශ්‍ය බවට දැනුම් දුන්නා.“ යැයි විග්නේස්වරන් මහතා වැඩිදුරටත් පැවසී ය.

වන්නි රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)