April 24, 2024

මධ්‍යම පළාත් සභාවේ බලය එජාපය අතට

මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ස්වාධීනව කටයුතු කිරීමට ගත් තීරණයත් සමග මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන බලය ගිලිහී යාමේ තත්ත්වයක් උද්ගත වී තිබේ. 

එම පළාත් සභාවේ විපක්ෂ නායක(එ.ජා.ප) චානක අයිලප්පෙරුම මහතා සඳහන් කළේ මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධූරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීම සඳහා අගමැතිවරයා සමග සාකච්ඡා කරන බවයි. 

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු සන්ධාන මන්ත්‍රීන් 9 දෙනකු ස්වාධීන වීම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සංඛ්‍යාව 24 ක් ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සංඛ්‍යාව 25 ක් ද වී තිබේ. 

ඒ අනුව බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන බව ද එහි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පසුගියදා මධ්‍යම පළාත් සභාවේ අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු තවත් සන්ධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඔහු සමග ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

එම මන්ත්‍රීවරුන් පිරිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේ බව දැනුම් දී ඇතැයිද වාර්තා වේ. 

මධ්‍යම පළාත් සභාව තුළ සමස්ත මන්ත්‍රී කණ්ඩායම 58 ක් වන අතර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම 33 කි. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම 25 කි. මේ තත්ත්වය යටතේ ප්‍රමිත තෙන්නකෝන් මන්ත්‍රීවරයා සමග තවත් මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ස්වාධීන වීම තුළීන් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම 23 දක්වා අඩුවීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, එසේ වුවහොත් බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමේ වැඩි අවස්ථාවක් උද්ගතවී ඇත.

Rate this item
(0 votes)