April 24, 2024

නව ව්‍යවස්ථාව ගැන දෙමල සන්ධානය මෝදි සමග සාකච්ඡා කරලා

නව අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම ප්‍රමාදවීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කළ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

පසුගිය වර්ෂය අවසන් වීමට ප්‍රථම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළ බව දෙමළ ජාතික සන්ධානය පවසා ඇත.

කෙසේ වෙතත් එය ප්‍රමාදවීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  සමඟ සාකච්ඡා කළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා බී.බී.සී පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම සඳහා දිවයිනට පැමිණි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පෙරේදා (12) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගිය අතර ඊට ප්‍රථම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මුණගැසුණි.

මෙම සාකච්ඡාවේදී මෙරට සෑම ජන කොටසකටම පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉතා ඉක්මනින් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ඉන්දිය අගමැතිවරයා හමුවේ පැහැදිලි කළ බව සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.

අර්ථවත් බලය බෙදීමක් අවශ්‍ය කරන බව ද එහිදී දෙමළ ජාතික සන්ධානය කළ ප්‍රකාශයට අදහස් දක්වා ඇති ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළීබඳ ඉන්දියාව ද බලාපොරොත්තු සහිතව කටයුතු කරන බවය.

වත්මන් ආණ්ඩුව සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී පවසා තිබේ.

එමෙන්ම විපක්ෂ කනායක ආර්. සම්බන්ධන්  මහතා මෙරට දෙමළ ජනතාවට ලබා දෙන නායකත්වය පිළිබඳව ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රසාදය හිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)