April 25, 2024

ගෝඨා බලයට ගේන්න ට්‍රම්ප්ගේ දුවගේ සහය ගැනීමේ සූදානමක්

ශ්‍රී ලංකාවේ ගෝඨාභය හිතවාදී ව්‍යාපාරිකයන් පිරිසක් ඇමරිකානු ජනාධිපතිගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් සමඟ සම්බන්ධ වෙමින් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ.

එසේම ඉවන්කා ට්‍රම්ප් සමඟ සම්බන්ධ වෙමින් මෙරට තුළ මහා පරිමාණ ව්‍යාපාර රැසක් ආරම්භ කිරීමට ද ඔවුන් සැලසුම් කර තිබේ. මෙහි එක අරමුණක් වී තිබෙන්නේ දැනට චීන ආධිපත්‍යයට නතුව පවතින මෙරට සංවර්ධනය, දේශපාලනය හා ආයෝජන ක්ෂේත්‍ර ඇමරිකානු හිතවාදී ලෙස වර්ධනය කිරීමේ වුවමනාව බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ රජය සමයේ වුවමනාවට වඩා චීන හිතවාදී වීම හේතුවෙන් ඇමරිකාවට අවශ්‍ය ආකාරයට ඔවුන්ගේ බල වුවමනාවන් මෙරට තුළ ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ හෙයින් ඇමරිකානු හිතවාදී හා විශ්වාසවන්ත රාජ්‍ය නායකයකු මෙරට බලයට ගෙන ඒමට ඇමරිකාවට ද අවශ්‍ය වී තිබේ.

ඊට අමතරව දැනට පවතින ආණ්ඩුවද ඇමරිකානු දේශපාලන වුවමනාවන් මෙරට තුළ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වයට සහය ලබා දීමට ඇමරිකාව ද තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉවන්කා ට්‍රම්ප් ඇමරිකාවේ මහා පරිමාණ ඇඳුම් විලාසිතා සමාගම් ඇතුළු ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යන අතර පසුගිය සමයේ ඇමරිකානු සමාජ ක්‍රියාකාරිකයන් රැසක් ඉවන්කාගේ නිෂ්පාදන වර්ජනය කරන ලෙස ඉල්ලීමක් ද කර තිබුණි. එසේම ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට ගෝඨාහය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

සාමාන්‍යයෙන් එවැනි නඩුවක තීන්දුව ලබා දීමට වසර දෙක තුනක කාලයක් ගතවන බැවින් පුරවැසිභාවය ඉවත් කර ගැනීම සම්බන්ධ හා කරණා ඉක්මන් කරවා ගැනීම ද ඉවන්කා ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමේ අරමුණ වී තිබේ.

කෙසේ වෙතත් ප්‍රසිද්ධ වෙබ් අඩවියකට මේ පිළිබඳ අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. ඔහුට අවශ්‍ය නම් ඇමරිකානු පුරවැසිභාවය සති දෙක තුනක කාලයකින් අහෝසි කරගත හැකි බව පවසන ඒ මහතා තමන්ගේ පුතා සහ ඥාතීන් බොහොමයක් දැනට ඇමරිකාවේ පදිංචිව සිටින හෙයින් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ කිසිදු වුවමනාවක් නොමැති බව ද එහිදී ප්‍රකාශ කර තිබේ.

 

-සත්හඩ-

Rate this item
(3 votes)