March 29, 2024

පසුගිය රජයේ සමීපතමයෝ රැසක් රජයේ සාක්ෂිකරුවෝ වෙයි?

පසුගිය රජය සමයේ සිදුවී ඇතැයි කියන වංචා දූෂණ පිළිබඳ ලැබුණු පැමිණිලි මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පවරා ඇති නඩු විශේෂ නඩු ලෙස සලකා විභාග කිරීමට ගත් තීරණයත් සමග රජයේ සාක්ෂිකරුවන් වීමට පසුගිය ආණ්ඩුවේ පිරිසක් සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අක්‍රිය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුව ද මහාධිකරණයේ පවතින FCID නඩු, විශේෂ නඩු කටයුතු ලෙස සලකා විභාග කිරීමට තීරණය කිරීමත් සමඟ පසුගිය ආණ්ඩුවේ සමීපතමයෝ රැසක් මෙලෙස රජයේ සාක්ෂිකරුවෝ වීමට උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවැති කාලයේ සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ව්‍යාපාරිකයෝ කිහිපදෙනකු පසුගිය සතියේ ජනාධිපතිවරයාට වඩාත් සමීප ඇමැතිවරයකු මුණගැසී සාකච්ඡා පවත්වා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ලේකම් ධුරයක් දරන මෙම ඇමැතිවරයා සමඟ සාකච්ඡා කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ රජයේ සාක්ෂිකරුවන් බවට පත් වී පසුගිය ආණ්ඩුවේ සියලු වංචා-දූෂණවලට අදාළ තොරතුරු හෙළිදරව් කිරීමට තමන් සූදානම් බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරියකගේ ස්වාමිපුරුෂයකු ද පසුගිය සතියේ මෙසේ අදාළ ඇමැතිවරයා මුණගැසී රජයේ සාක්ෂිකරුවකු වීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.

කෙසේ වෙතත් මේ වන විට අදාළ නඩු පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු ලිපිගොනු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් සකස් කර ඇති නිසා කිසිවක් කළ නොහැකි බව ඇමැතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනාට දැනුම් දී ඇති බවත් එහෙත් ඔවුන් රජයේ සාක්ෂිකරුවන් වීමේ අදහස අත්හැර නැති බවත්, ජනාධිපතිවරයාගේ සහෝදරයකු හරහා අදාළ කාර්යය සාර්ථක කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)