April 24, 2024

පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු පොලිස්පති කතා කරයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කළද මත් උවදුර මැඩ පැවැත්වීම සඳහා පොලීසිය දරන උත්සාහය කිසිසේත් අඩපණ නොකරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

පෙරේදා රාත්‍රී පිළියන්දල ප්‍රදේශයේ දී යතුරුපැදියකන් පැමිණි සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල් අබේවික්‍රම මහතා ඝාතනයට ලක් වුණි. පොලිස් පරීක්ෂක එම්. නියුමාල් රංගජීව සහ පොලිස් කොස්තාපල්වරයෙකුද වෙඩි ප්‍රහාරයට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔවුන්ගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ ජාතික රෝහලට ගිය බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

පිළියන්දල ප්‍රදේශයේ සිදුකෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායම් තුනක් වාහන තුනකින් පිටත්ව ගොස් තිබූ අතර මෝටර් රථයකින් ගමන් කරමින්  සිටි පොලිස් නිලධාරීන් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණි.

එම වෙඩි ප්‍රහාරය හේතුවෙන් පිළියන්දල මහජන බැංකුව අසළ සිටි අවුරුදු 15 බැගින් වූ පිරිමි සහ ගැහැණු ළමුන් දෙදෙනෙකු මෙන්ම 08 හැවිරිදි දරුවෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මේ අතර මියගිය පොලිස් කොස්තාපල් චමින්ද අබේවික්‍රම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පූර්ණ පොලිස් ගෞරව සහිතව මාරවිල පොදු සුසාන භූමීයේදී සිදු කෙරෙයි.

එම පොලිස් නිලධාරීයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට පොලිස්පතිවරයා නියම කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Rate this item
(1 Vote)