March 28, 2024

පිළියන්දල වෙඩි තැබීම: පොලීසිය වැටලීමට ගියේ සූදානමකින් තොරවද?

පිළියන්දල මොරටුව පාරේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී ඊයේ (09) රාත්‍රී  වැටලීමක් සඳහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක  කාර්යාංශයේ කණ්ඩායමකට සිදුකළ වෙඩි තැබීමකින් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් පරීක්ෂණ වාර්තාවක් කැඳවා තිබේ.

විශේෂයෙන්ම සුදුසු සූදානමකින් තොරව මෙවැනි වැටලීමක් සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් පිටත්ව යෑමට හේතුව ඇතුළුව සිද්ධිය සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් දින තුනක් ඇතුළත තමන් වෙත ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

අදාල පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිස්පතිවරායා විසින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පත්කර තිබේ.

එම වෙඩි තැබීමෙන් පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 5 ක් තුවාල ලැබූහ.

යතුරු පැදියකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩි තබා පළා ගොස් ඇති අතර පොලිස් ජිප් රථය පැද වු පොලිස් නිලධාරියා මෙලෙස එම ස්ථානයේ දීම වෙඩි පහරින් මිය ගොස් ඇත.
 
වෙඩි වැදීමෙන් තවත් පොලිස් නිලධාරියෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබේ.

එමෙන්ම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අසල සිටි කුඩා දරුවන් දෙනෙකු සහ පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
Rate this item
(0 votes)