April 20, 2024

ශ්‍රීලනිපයෙන් නව කැබිනට් ප්‍රකාශකයෙක්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරමින් නව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශකවරයකු පත්කිරීමට එම පක්‍ෂය තීරණය කළ බව එජනිස මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී ය.

දැනට සිටින කැබිනට්‌ ප්‍රකාශකවරයාට සහ සම කැබිනට්‌ ප්‍රකාශකවරයාට අමතරව මෙම නව පත්කිරීම සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය වන පරිදි ඇමැතිවරුන් කිහිප දෙනකුගේ නම් ඒ සඳහා යෝජනා වී ඇති බවත් ඉදිරි දිනයකදී එම පත්කිරීම සිදුකෙරෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇමැතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්‌ පසුගියදා පැවැති බවත් ජෝන් සෙනෙවිරත්න සහ රාජිත සේනාරත්න ඇමැතිවරුන් අතර ඇති වූ මත ගැටුම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවත් අමරවීර මහතා පැවසී ය.

කැබිනට්‌ හමුව වැනි මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රීලනිපයේ මතය ද නියෝජනය විය යුතු බවත් එහිදී ප්‍රකාශ වන ඇතැම් කරුණුවලින් ගැටුම් ඇතිවීම වැළැක්‌වීම සඳහා මෙම පත්කිරීම සිදුකළ බවත් අමරවීර මහතා සඳහන් කළේය.

ඒ අනුව කැබිනට්‌ ප්‍රකාශකවරුන් ලෙස කටයුතු කරන තිදෙනාම එකඟතාවෙන් යුතුව කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බව අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)