April 20, 2024

ඇමැති මාරුව අතලඟ: මංගල - මලික් මහින්ද සමග රාත්‍රී සාකච්ඡා කරලා 

යහපාලන රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙපලක් වන විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර හා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඊයේ(08) හිටපු ජනපතිගේ සොහොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගොස් තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක මහත්මිය ඊයේ (08) අලුයම අභාවප්‍රාප්ත වූ අතර ගාන්ධිනී රාජපක්ෂ මහත්මියගේ දේහය නුගේගොඩ - ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර තිබේ. 

එම නිවසට ගිය මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයිද වාර්තා වේ.

එහිදී අමාත්‍යවරුන් සමග හිටපු ජනාධිපතිවරයා සාකච්ඡා කළ කරුණු පිළිබඳ මෙතෙක් අනාවරණ වී නොමැති අතර එම සාකච්ඡාව සුහද සාකච්ඡාවක් ලෙස පැවැති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

විශේෂයෙන් මෙම සාකච්ඡාව පිළිබඳ කාගේත් අවධානය යොමුවූයේ ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළ පරිදි වෙසක් පොහොයට කලින් සිදු කරන කැබිනට් සංශෝධනයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන්ටද ඇමැතිධූර හිමිවන බව වාර්තාවී ඇති අවස්ථාවකදීය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ මැයි රැලියෙන් දින දෙකකට පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සිටි නිලධාරීන් 42ක් ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබිණි.

පසුව හදිසියේම ඊයේ (07) දිනයේද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට සිටි පොලිසියේ පනස්‌දෙනකු වහාම ඉවත් කර තිබූ අතර පසුව පොලීසිය සඳහන් කළේ එම තීරණය අවලංගු කළ බවයි.

කෙසේ වෙතත් පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ කඩිනම් කර ලබන මැයි දිනයට පෙර දඩුවම් ලබා දෙන ලෙස ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබූ අතර යහපාලන රජයද මේවන විට එල්ල වී ඇති චෝදනා පිළිබඳ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතරතුර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා මංගල සමරවීර, මලික් සමරවික්‍රම ඇමැතිවරුන් අතර පැවැති මෙම සාකච්ඡාව විශේෂ හමුවක් වී තිබේ.

 

Rate this item
(1 Vote)