April 25, 2024

චන්ද්‍රිකාගේ ආරක්ෂාව ගැන මහින්දගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව අඩු කිරීම සඳහා අධිකරණයේ නඩුවක් ගොනුකළ බවට රජයට සම්බන්ධ දේශපාලඥයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම මාධ්‍ය අංශය මේ බව සඳහන් කර තිබේ.

එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිතුමියගේ ඉල්ලීමක් අනුව එතුමියගේ නිල නිවසට ගොස් සාකච්ඡාකර එතුමියගේ ආරක්ෂක ප්‍රධානියාගේ ඉල්ලීම අනුව ආරක්ෂක නිලධාරීන් සහ අවශ්‍ය කරන පහසුකම් ලබාදී ඇති බව එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදි වෙයි, 

මාධ්‍ය නිවේදනය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව අඩු කිරීම සඳහා අධිකරණයේ නඩුවක් ගොනුකළ බව රජයට සම්බන්ධ දේශපාලඥයින් ප්‍රකාශ කළ බව මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවේ.එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමි.

ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එවැනි නඩුවක් ගොනුකර නොමැත.එම නඩුව ගොනු කර ඇත්තේ  රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි.

එවකට  ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති තුමියගේ ඉල්ලීමක් අනුව එතුමියගේ නිල නිවසට ගොස් සාකච්ඡාකර එතුමියගේ ආරක්ෂක ප්‍රධානියාගේ ඉල්ලීම අනුව ආරක්ෂක නිලධාරීන් සහ අවශ්‍ය කරන පහසුකම් ලබාදී ඇත.

අධිකරණ තීන්දුව අනුව එතුමියගේ ආරක්ෂාවේ කිසිඳු වෙනසක් කර නොමැත. අධිකරණ තීන්දුවක් තිබුනද එතුමියගේ ආරක්ෂක ප්‍රධානියාගේ ඉල්ලීම් අනුව සැම අවස්ථාවකදීම රජය විසින් සියලුම පහසුකම් ලබා දී ඇත.

තමන්ගේ දේශපාලන  පලිගැනීම් ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කිරීමේ  චේතනාවෙන් මෙවැනි  ප්‍රකාශයන් කරන්නේ  බංකොලොත් දේශපාලකයන්ය. මේ ආණ්ඩුව යටතේ කොටි සංවිධානයට නැවත පන දීමේ උත්සාහයන් කීපයක් හෙලිවී ඇත. මේ වසර මුලදී විදේශ රටවල සිටින කොටි ක්‍රියාකාරීන් පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි ත්‍රස්තවාදීන් යොදවා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමක් හෙලිකරගැනීමට පොලීසියට හැකිවිය.

මේ සම්බන්ධයෙන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඒ සඳහා භාවිත කිරීමට නියමිතව තිබු ක්ලේමෝ බෝම්බ දෙකක්ද සොයාගන්නා ලදී.  වර්තමාන රජය රැඳවුම් භාරයේ සිටි භයානක කොටි ත්‍රස්තවාදීන් නිදහස්කර ඇත. පසුගිය රජය කොටි ත්‍රස්ත්‍රවාදීන් 11000 වැඩි ප්‍රමාණයක් පුනරුත්ථාපනය කර , එසේ කිරීමට නොහැකි අතිශයින්ම දරුණුගණයේ කොටි ත්‍රස්තවාදීන් 200 පමණ රැඳවුම් බාරයේ තබාගෙන සිටියේය. වර්තමාන ආණ්ඩුව නිදහස්කර ඇත්තේ පුනරුත්ථාපනය කළ නොහැකි කොටි ත්‍රස්තවදීන්ය. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇත්තේ මෙවැනි පසුබිමකය.

වසර 30 යුද්ධය අවසන්කොට ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනගිය රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය ආරක්ෂා කිරීම වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු රජයේ වගකීම බව තරයේ සඳහන් කරමි.

රොහාන් වැලිවිට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ
මාධ්‍ය ලේකම් 

Rate this item
(3 votes)