March 29, 2024

ජී.එස්‌.පී. ප්ලස්: ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පරදියි 

ශ්‍රී ලංකාවට ජී. එස්‌. පී. ප්ලස්‌ සහන ලබාදීමට විරුද්ධව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 117 කින් ඊයේ (27) පරාජයට පත් විය.

යෝජනාවට විරුද්ධව ඡන්ද 436 ක්‌ ප්‍රකාශ වූ අතර, පක්‌ෂව ඡන්ද 119 ක්‌ ප්‍රකාශ කර තිබුණි. 

නියෝජිතයින් 22 දෙනකු ඡන්දය දීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

යුරෝපයට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්‌ඩ සඳහා අත්හිටුවා තිබූ ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය නැවත ලබා ගැනීම සඳහා වත්මන් රජය 2017 ජනවාරි 11 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබුණි.

එම යෝජනාව ඊයේ යුරෝපා පාර්ලිමේන්තුවේදී සලකා බැලීමට නියමිතව තිබියදී ඊට එරෙහිව යෝජනාවක්‌ යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයින් පිරිසක්‌ විසින් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාව විසින් ජී. එස්‌. පී. ප්ලස්‌ ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කළ ප්‍රධාන කොන්දේසි තවම සපුරා නැති බවත් එබැවින් ශ්‍රී ලංකාවට මෙම සහනය ලබා නොදෙන ලෙසටත් එම යෝජනාවෙන් ඉල්ලා තිබුණි.

මෙම යෝජනාව සම්බන්ධව ඊයේ යුරෝපා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක්‌ පැවැත්විණි. යෝජනාව පරාජයට පත්වීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක්‌ බවත් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බ්‍රසල්ස්‌ නුවර සිට සඳහන් කළේය.

Rate this item
(0 votes)