April 24, 2024

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා ජපානය අතර ත්‍රෛපාර්ශික ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව හා ජපානය අතර ත්‍රෛපාර්ශික ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසූයේ මරාදාන සුදුවැල්ලේ දී අවුරුදු උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී අගැමැතිවරයා මෙසේද සඳහන් ක‍ළේය.

“මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පණිවිඩයක් රැගෙන ඉන්දියාවට යනවා.ඉන්දියානු අගමැති මෝදි මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතයි.“

“ශ්‍රී ලංකාවේ නැගෙනහිර,මධ්‍යම සහ බස්නාහිර පළාත්වල සංවර්ධන කටයුතු සඳහා ත්‍රෛපාර්ශික වැඩසටහනක් දියත් කිරීම මෙහි අරමුණයි.“යැයි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමලය වරාය ඉතා ඉක්මනින් සංවර්ධිත වරායක් බවට පත්වනු ඇතැයි ද එහි සමහර ව්‍යාපෘති සඳහා ජපානය සහය දෙනු ඇතැයි ද පැවසූ ඒ මහතා ඉන්දියාව එහි අනෙකුත් ව්‍යාපෘති සඳහා සහය දෙනු ඇතැයි ද සඳහන් කළේය.

“ත්‍රිකුණාමලය වරායේ ව්‍යාපෘති කිහිපයක් සඳහා ඉන්දියාව හා ජපානය එක්ව සහය දීමට නියමිතයි.ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමට සිංගප්පූරුව සහය  ලබාදෙනු ඇත.ජපානය හා ඉන්දියාව කෙරවලපිටියේ ස්වභාවික ද්‍රව ගෑස් බලාගාර දෙකක් ඉදිකිරීමට අපිට සහය ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම මුහුදේ පාවෙන ස්වභාවික ද්‍රව ගෑස් තටාකයක් ඉදිකිරීමට ඉන්දියාව හා ජපානය එක්ව ව්‍යාපෘතියක් කිරීමට නියමිතයි.“යැයි වික්‍රමසිංහ මහතා පැවසී ය.

මෙම ගිවිසුම් මගින් ජපානය හා ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට දායක වීම ධනාත්මක ලකුණක් බව අගමැතිවරයා පැවසී ය.

Rate this item
(0 votes)