April 25, 2024

කුණු බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් වෙයි - බාධා කළොත් අත්අඩංගුවට

සියලුම පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (20) මධ්‍යම රාත්‍රි 12.00 සිට බලපවත්වන පරිදි විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර ඇත.

එම ගැසට්‌ නිවේදනයට අනුව අපද්‍රව්‍ය බැහැර කිරීමට බාධා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන බරපතළ වැඩ සහිත සිරදඬුවම් පැනවිය හැකිය.

එම ගැසට්‌ නිවේදනය මෙසේය,

සියලුම පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ගරු ජනාධිපතිතුමා නියෝග කර ඇත.

මෙම ගැසට් නිවේදනය අද (2017-04-20) මධ්‍යම රාත‍්‍රි 12.00 සිට බලාත්මක වන අතර ඊට අදාළ නිවේදනය පහත පරිදි වේ.

මහජන ආරක්ෂක පනතේ 17 වන වගන්තිය ප‍්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද නියෝගයක් අනුව, ඕනෑම පළාත් පාලන ආයතනයක් විසින් කි‍්‍රයාත්මක කරන හා පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීම, එකතු කිරීම, ප‍්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, සකස් කිරීම, වෙන් කිරීම, බැහැර කිරීම සහ මහාමාර්ගවල ඇති අපද්‍රව්‍ය, නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍ය හා ඊට සමාන කාර්යයන් පිළිබඳව ගනු ලබන කි‍්‍රයාමාර්ග මෙම නියෝගයට අදාළ වේ.

එමෙන්ම මේවා අත්‍යාවශ්‍ය සේවා බවට එමගින් නියම කර ඇත.

එමගින් පහත සඳහන් කි‍්‍රයාමාර්ග ආවරණය වේ.

01- යම් කිසිවෙකු පුද්ගලයෙකුට හෝ දේපළවලට වාචිකව හෝ ලිඛිතව හිංසනයක් සිදු කිරීමෙන් එනම් තර්ජනය කිරීම, බලහත්කාරයෙන් හෝ කුමන අන්දමකින් හෝ අපහාසයකින් හෝ අන් ක‍්‍රමයකින් එම කාර්යයන්හි යෙදීම වැළැක්වීම, බාධා කිරීම, ප‍්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදකි. එමෙන්ම මෙවැනි කි‍්‍රයාවන් සඳහා බලපෑම, ජනතාව ප‍්‍රකෝප කිරීම අන් අන්දමකින් පෙලඹවීම මගින් එවැනි සේවා පවත්වාගෙන යාමට යමෙකුට බාධා කිරීම රැකියාවෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීම නීති විරෝධි වේ. තවද මෙවැනි කාර්යයන් සඳහා රැකියා අවස්ථාවන් සැපයීම හෝ රැකියාවන් භාර ගැනීම වැළැක්වීම ද එසේම වරදකි.

මෙකී කි‍්‍රයාවන් සඳහා කිසිවෙකු ශාරීරිකව හෝ වාචිකව හෝ ලිඛිතව හෝ බලපෑම් කිරීම, දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

02- මෙම පනතේ විධිවිධාන අනුව උක්ත කි‍්‍රයාවන් කළ හෝ කරන හෝ කළේ යැයි සැක කිරීමට සාධාරණ හේතු ඇති විට ඕනෑම පොලිස් නිලධාරියෙකුට වරෙන්තු රහිතව, ඕනෑම අවස්ථාවක එවැන්නෙකු අත්අඩංගුවට ගත හැකිය.

03- මෙවැනි වරදකට හසුවූ කෙනෙකු මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරිපිට නඩු විනිශ්චයකින් පසුව බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත් කළ හැකි වේ.

 

Rate this item
(0 votes)