April 23, 2024

විමල් ඇනගනී: ඇප ගන්න නි.ඇමැතිගෙන් උදව්වක්?

තමන්ට ඇප ලබා නොදුන්නේ යැයි බන්ධනාගාරය තුළ උපවාස කිරීම නොව විමල් වීරවංශ කළ යුත්තේ දක්ෂ නීතිඥයින්ගේ සහය ලබා ගැනීම බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත්.පී. පෙරේරා මහතා පවසයි.

තමා නීතිඥයකු ලෙස මෙය දකින්නේ අනවශ්‍ය වැඩක් ලෙස බවත් දේශපාලඥයකු ලෙස තමන් මෙය වීරවංශ මහතා ඇන ගැනීමක් ලෙස පෙන්වා දෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

සිරකරුවකු තමන්ට අධිකරණය ඇප ලබා නොදුන්නේ යැයි උපවාස කළ විට අධිකරණය එයට ඇහුම්කන් දී ඇප ලබා දීමේ ප්‍රවණතාවක් අධිකරණ ක්‍රියාවලියේ නොමැති බව පෙන්වා දෙන නියෝජ්‍ය ඇමැතිවරයා වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීන බව දෙස් වි‍දෙස් වශයෙන්ද පිළිගෙන ඇතැයි ද කියා සිටියේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිරගත වී ඇත්තේ මහජන මුදල් අවභාවිත කළ බැවින් නිසා ඔහු දේශපාලන සිරකරුවෙකු නොවන බවත් උපවාස කළා කියා ඇප නොදෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.

නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

“අපේ රටේ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා සෑම අධිකරණයක්ම ස්වාධීනතාව විශ්වාස කරනවා. එක් එක් විනිසුරුවරු නඩුවේ තිබෙන කරුණු සහ නීතිය අනුවයි පෙනීසිටින්නේ. නීතිය අනුව කටයුතු කිරීමෙන් තමයි සහන ලබාගැනීමට පුළුවන් වෙන්නේ.

අපේ රටේ ඇප නීතියක් තිබෙනවා. ඇප පනතක් තිබෙනවා. මහජන දේපොළ සම්බන්ධ වැරදිවලට ඇපදීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමේ නීතියක් තිබෙනවා. ඒ අනුව කරුණු අධිකරණයට ගිහින් කියන්න අවශ්‍යයයි. උපවාස කළා කියලා ඇප දෙන්නේ නැහැ. නීතිඥයෙක් විදිහට මට කියන්න තියෙන්නේ උපවාස කිරීම තේරුමක් නැති දෙයක් කියන එකයි.

නමුත් දේශපාලඥයෙක් විදියට කල්පනා කළාම ඒක නැගලායන වැඩක් වෙයි. පුවත් මවන වැඩක්. කොහොම වුණත් ඔය හිරේ ඉන්නේ රට වෙනුවෙන් සටන් කරලා නෙවෙයිනේ. රාජ්‍ය දේපොළ අයුතුලෙස පරිහරණය කරපු නිසානේ හිරේ ඉන්නේ. ඔහු දේශපාලන හිරකරුවෙක් නෙවෙයි. ඕනෑම සැකකරුවෙකුට සුදුසු කොන්දේසි මත, සුදුසු අවස්ථාවල ඇප දෙනවා. ඒකට හොද නීතිඥමහත්වරු අල්ලන්න අවශ්‍යයි“ යැයි පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවට ඊයේ(22) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

 

Rate this item
(0 votes)