April 19, 2024

මෛත්‍රී පුටින් හමුවීමට සූදානම්! 

රුසියාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා අතර ද්වී පාර්ශ්වික සාකච්ඡා අද(23) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අද(23) දහවල් මොස්කවු නගරයේ ක්‍රෙමිරින් මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ විශේෂ නිල ආරාධනය පරිදි රුසියාවේ තෙදින නිල සංචාරය ආරම්භ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(22) පස්වරුවේ මොස්කව් නගරයේ ඩොමොඩෙඩුවා (Domodedovo)  ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය. 

රුසියානු රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Igor Morgulov මහතා ඇතුලු ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් විසින් ජනාධිපතිවරයා, ජයන්ති සිරිසේන මහත්මිය ඇතුලු ශ්‍රී ලාංකික දූත පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  මෙම සංචාරයේ නිරත වන අතර වසර 43කට පසුව ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් එරට රජයේ ඉහළම ගෞරවය පිළිගැන්වීමට රුසියානු ජනාධිපතිවරයා සියලු කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දෙරටේ නායකයින් අතර නිල හමුවෙන් අනතුරුව ආර්ථික, වෙළෙඳ, දේශපාලනික හා සංස්කෘතික සබඳතා ශක්තිමක් කරන අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 60ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(23) පස්වරුවේ සහභාගීවීමට නියමිතය.

දෙරට අතර වෙළෙඳ හා ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා - රුසියා ව්‍යාපාරික සංසදය විසින් සංවිධානය කරන ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්වන අතර රුසියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් ද හමුවීමට සැළසුම් කර තිබේ.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ඇතුලු තානාපති කාර්යාලයේ නිලධාරින් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

අමාත්‍යවරුන්වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටී. 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 March 2017 10:36