April 25, 2024

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරය මහේෂ්ට

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පත්කර තිබේ.

යුද හමුදාවේ දෙවැනි තනතුර මාණ්ඩලික ප්‍රධානී තරනතුරයි. ඒ සඳහා මේජර් ජනරාල්වරුන් පස් දෙනකුගේ නම් යුද හමුදාපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශය වෙත යවනු ලැබ තිබිණි.

2016 වසරේ නොවැම්බර් 04 වන දින සිට මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි අතර මේජර් ජෙනරාල් යූ.ඒ.බී මැදවෙල මහතාගෙන් පුරප්පාඩු වූ මාණ්ඩලික තනතුරේ හෙතෙම ඊයේ(22) වැඩබාර ගන්නා ලදී.

ඔහු 1981 ඔක්තෝබර් 16 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 16 (දිගු කාලීන පාඨමාලා) යටතේ සිය මූලික පුහුණවීම් ලබා 1983 ජුනි මස 23 වන දින දෙවන ලුතිතන්වරයෙක් ලෙස අධිකාරියට පත්ව 1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවට එක්වූවේය. හෙතෙම තමා හැදෑරූ එම පාඨමාලාවේ හොඳම නිලධාරියාට පිරිනැමෙන සම්මානය සහ අසිපත ද දිනා ගනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස යුද හමුදාව තුළ වගකීම් බහුල තනතුරු රැසක් හෙබවූ මේජර් ජෙනරාල් සේනානායක ශ්‍රී ලංකා යුද හමුදා ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් අණදෙන නිලධාරි/ බලඝණ නිලධාරි ආදි නිලයන් හෙබවූ අතර, දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ උපදේශකවරයෙක් ලෙස ද ක්‍රියා කළේය. අන්තර් ඒකක නිලධාරි මාරුකිරීම්වල ප්‍ර‍තිඵලයක් ලෙස මේජර් ජෙනරාල් සේනානායක 1989 වසරේ සිට විශේෂ බලකායට අනුයුක්ත කෙරිණි.

හෙතෙම ශ්‍රී ලංකාව තුල පැවති උතුරු - නැගෙනහිර යුද්ධයේ දී ප්‍ර‍ධාන හමුදා මෙහෙයුම් රැසකට සිය දායකත්වය ලබා දුන්නේ 1 වන විශේෂ බලකායේ බලඝණ නිලධාරි ලෙස සහ දිගු දුර විහිදුම් බලකාය හා දිගු දුර මුර සංචාර ශ්‍රී ලංකා යුද හමුදාවට හඳුන්වා දුන් 3 වන විශේෂ බලකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරමිනි. විශේෂ බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, 211 පාබල බලසේනාවේ (වව්නියාව) බල සේනාධිපති, විශේෂ බලකා බලසේනාවේ බල සේනාධිපති සහ 52 සේනාංකයේ (යාපනය, වරණිහි පිහිටි) සේනාංකාධිපති ලෙස ද ඔහු කටයුතු කළේය. 

යුද්ධය පැවති සමයේ විවිධ කාලයන් තුල 52 සේනාංකයේ කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරි ලෙස ද ක්‍රියා කලහ. යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියාමන උපදේශක වශයෙන් මෙන්ම මානුෂීය මෙහෙයුම් සමයේ තීරණාත්මක අවධියේ සැලසුම් අධ්‍යක්ෂ ලෙස ද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් කාර්යභාරයක් ඉටු කළේය. එමෙන්ම යුද හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් ලෙස ද මේජර් ජෙනරාල් සේනානායක කටයුතු කළේය.

තව ද මේජර් ජෙනරාල් සේනානායක එක්සත් රාජධානියේ යුද හමුදා අණ දෙන සහ ප්‍ර‍ධාන මාණ්ඩලික විදුහලේ සිවිල් ඉංජිනේරු විද්‍යාවේදි උපාධිධරයෙකි. යුද මෙහෙයුම්වල දී දැක්වූ දැඩි කැපවීම සහ දක්ෂතාවය වෙනුවෙන් රණවික්‍ර‍ම පදක්කම, රණශූර පදක්කම මෙන්ම යුද හමුදාව තුල සිදු කළ නිකැළැල් සේවාව වෙනුවෙන් උත්තම සේවා පදක්කම ද එතුමා වෙත පිරිනමා ඇත. මේජර් ජෙනරාල් සේනානායක ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සි යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ධූරය සහ විශේෂ බලකායේ බලකාධිපති ධූරය හොබවන ලදී.

Rate this item
(0 votes)