April 23, 2024

කළුතර ප්‍රහාරය: බන්ධනාගාරයේ ඇතුළෙන් උදව් ලැබිලා? 

කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණයට බන්ධනාගාර බස්‌රථයකින් රැගෙන යමින් සිටි සමයං ඇතුළු පිරිසට වෙඩි තැබීමේ සිද්ධියට කළුතර බන්ධනාගාර නිලධාරීන්ගේ සම්බන්ධයක්‌ ඇති බව සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් සහ ත්‍රිපුද්ගල කමිටුව විසින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

පසුගිය පෙබරවාරි 27 දා උදෑසන 7.20 ට පමණ කළුතර බන්ධනාගාරයේ සිට පිටත් වූ මෙම බන්ධනාගාර බස්‌ රථයට විනාඩි දෙක තුනකින් වෙඩි තැබීම සිදු වූ ස්‌ථානයට පැමිණීමට හැකියාව ඇතත් එම ස්‌ථානයට පැමිණ ඇත්තේ උදෑසන 8.40ට බව මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම බස්‌රිය මෙසේ පැයකට වැඩි කාලයක්‌ ප්‍රමාද වී ඇත්තේ ඝාතකයින්ට කල්වේලා ඇතිව සූදානම් වීමට ඉඩ දීමට බව මෙහිදී හෙළි වී තිබේ.

මෙම බස්‌රිය උදෑසන 7.20 ට බන්ධනාගාරයෙන් පිටත් වී මෙසේ පැයකට වැඩි කාලයක්‌ ප්‍රමාද වීම පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් ගෙන් ප්‍රශ්න කරගෙන යන බව පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පැවැසී ය.

මෙම බස්‌රිය පිටත්වීමට පෙර තවත් බස්‌රථ දෙකක්‌ද බන්ධනාගාරයෙන් පිටත්ව ගොස්‌ ඇති අතර සමයංට හිතවත් නිලධාරීන් මෙන්ම ඔහුගේ විරුද්ධවාදීන් ද බන්ධනාගාරයේ සේවය කරන බව පොලීසිය මෙතෙක්‌ කළ පරීක්‍ෂවලදී හෙළි වී ඇත. 

මෙම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයට බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යාංශය පත් කළ ත්‍රි පුද්ගල කමිටුව මේ වන විට බන්ධනාගාරයේ සහ පොලීසියේ විසි දෙනෙකු ගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Rate this item
(0 votes)