April 19, 2024

සයිටම් නිසා කෝප් කමිටුවේ බෙදීමක්

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීම සඳහා ඊයේ (20 ) රැස්‌වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප් කමිටුව) රැස්‌වීමේදී ඊට පක්‍ෂව සහ විරුද්ධව මන්ත්‍රීවරුන්ගේ අදහස්‌ පළවීම හේතුවෙන් එහි බෙදීමක්‌ හටගෙන ඇත. 

කෝප් කමිටුවේ එක්‌සත් ජාතික පක්‍ෂ සාමාජිකයන් සයිටම් ආයතනයට පක්‍ෂව කරුණු දක්‌වා ඇති අතර ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කළ බවද, ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා රැස්‌වීමෙන් නැගිට ගිය බව වාර්තා වෙයි.

ජනතා විමුක්‌ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ඊට එරෙහිව කරුණු දක්‌වා ඇත.

සයිටම් ආයතනය පිළිබඳව සොයා බැලීම සඳහා කෝප් කමිටුව සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්‌විය.

සයිටම් ආයතනයට උපාධි ප්‍රදානය කිරීම සඳහා බලය ලබාදෙමින් එස්‌. බී. දිසානායක මහතා විසින් 2011 වසරේදී නිකුත් කළ ගැසට්‌ නිවේදනයට පදනම් වූ වාර්තාව සැකසූ විශේෂඥ කමිටුවේ සාමාජිකයෙක්‌ ඊයේ කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයන් 4 දෙනකු කොළඹ මොරටුව සහ ජයවර්ධනපුර හිටපු උපකුලපතිවරු තිදෙනකු සහ වෛද්‍ය සභාවේ නියෝජිතයෙකු මෙසේ කෝප් කමිටුව හමුවේ පෙනී සිට ඇත.

එස්‌. බී. දිසානායක මහතා විසින් ගැසට්‌ නිවේදනය සඳහා පදනම් කරගත් විශේෂඥ කමිටු වාර්තාවට එහි සාමාජිකයන් අට දෙනා අත්සන් තබා නැති බව මෙහිදී හෙළිවී ඇති අතර සාමාජිකයන් දෙදෙනකුගේ නම් වාර්තාවේ නොමැති බවද මෙහිදී අනාවරණය වී ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 March 2017 09:58