March 28, 2024

ලසන්ත ඝාතකයින් සොයාගනී - තොරතුරු රැසක් හෙළි වෙයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුකල කණ්ඩායම කවුදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි.

මේ අනුව ලසන්ත ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එසේම මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇති අතර මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා ඇත. 

මෙම කණ්ඩායම විසින් ජංගම දුරකථන සිම් කාඩ් පත් 5ක් භාවිතා කර ඇති බවත්, මෙම සිදුවීම් හා සම්බන්ධ සියලු ඇමතුම් ලබාගෙන ඇත්තේ එම සිම් කාඩ් යෙදූ දුරකථනවලින් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන ඇති අතර මෙම සිද්ධියට අදාළව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන්ද ප්‍රකාශයක් ලබාගත් බවත්, එවක කොළඹ හා තදාසන්න ප්‍රදේශ බාරව සිටියේ මේවන විට විශ්‍රාමික මේජර් ජෙනරාල් අජිත් පෙරේරා බවත්, ඔහු නිසි ලෙස රාජකාරි නොකළ බවත් ෆොන්සේකා මහතා ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම්දී ඇත.

එසේම අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ අධිකරණ නියෝග මත ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත දේහය ගොඩ ගෙන වෙනම වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත්, එම වෛද්‍ය වාර්තාව මේ වන අධිකරණයට ලැබී ඇති බවත්, එම වාර්තාව අනුව මෙම මරණය විශේෂිත වු උල් ආයුධයකින් පහරදීමෙන් හිසට ඇති වු දැඩි තුවාලයක් හේතුවෙන් සිදුවු මරණයක් බව තහවුරු වී ඇති බවත්, වෙඩි තැබීමක් සිදුව නැති බවත් ය.

අදාළ නඩුව ජූනි මස 19 වන දා යලි විභාගයට ගැනීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 March 2017 15:32