April 19, 2024

යතුරුපැදිකරුවන්ට පොලිසියෙන් තර්ජන

“ෆුල්ෆේස් හිස්වැසුමක් ආයේ දැම්මොත් උසාවි දානවා“ යැයි පවසා යතුරුපැදිකරුවන්ට ‍පොලීසිය විසින් බියවැද්දවීම් කරන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ‍ලේකම් චිරන්තන අමරසිංහ මහතා සඳහන් කරයි.

පෑලියගොඩදී කොළඹ නාගරික ‍පොලීසියත්, කළුතර උතුර ‍පොලීසියත් හා ගම්‍පොළ ‍පොලීසියත් යන ‍පොලිස් බලප්‍රදේශයන්හිදී මෙම බියවැද්දීම් සිදුවන බව ඒ මහතා සඳහන් කරයි.

රජය විසින් නිකුත් කරන ලද 2007/39 අංක දරන ගැසට් නිවේදනය හේතුකොටගෙන ‍පොලිස් නිලධාරීන් මෙලෙස හැසිරෙන බවත් ෆුල්ෆේස් තහනම නවතමින් අධිකරණය අතුරු තහනම් නියෝගයක්ද පනවා තිබියදී රජය මෙවැනි ගැසට් නිවේදන නිකුත් කිරීම හෙළා දකින බවද හෙතෙම සඳහන් කරයි.

වර්ණ නොගැන්වූ වයිරසයක් සහිත ෆුල්ෆේස් හිස්වැසුමක් පැළැඳි විට ‍පොලීසිය විසින් තර්ජනය කරනවා නම් වහා එම ‍පොලිස් නිලධාරියාගේ අංකය සටහන් කරගෙන සිය සංගමයේ 0773083479 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙසද චිරත්තන අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

එම සංගමය නිකුත් කළ නිවේදනය පහතින්,

මාධ්‍ය නිවේදනයයි! ෆුල් ෆේස් තහනම් වෙයි! යතුරුපැදිකරුවන්ට පොලිසියෙන් තර්ජන!

පසුගිය පෙබරවාරි 23 වනදා නිකුත්වූ අංක 644/26 දරණ පැරැණි නිවේදනය සංශෝධන කරනා 2007/39 දරණ නව ගැසට් නිවේදනය හේතුකොටගෙන ෆුල් ෆේස් හිස්වැසුම් පළදින යතුරුපැදිකරුවන්ව ඇතැම් පොලිස් නිලධාරීන් විසින් නවතා "ෆුල් ෆේස් හිස්වැසුමක් ආයේ දැම්මොත් උසාවි දානවා" යැයි පවසා යතුරුපැදිකරුවන් බියගැන්වීමේ සිද්ධීන් කීපයක් අපට වාර්තා වී තිබේ. පෑලියගොඩ දී කොළඹ නාගරික පොලිසියත්, කළුතර උතුර පොලිසියත් හා ගම්පොල පොලිසියත් යන පොලිස් බලප්‍රදේශයන් හීදි මෙම පහත් ක්‍රියාවන් කෙරු බවට අපට වාර්තා වී ඇත. තවද, ඇතැම් සිද්ධීන්වලදී දැනුවත් කිරීමේ ලේඛනයක එම යතුරුපැදිකරුවන්ගේ විස්තර සදහන් කරගත් බව වාර්තාවේ.

644/26 දරණ පැරණි ගැසට් නිවේදනයේ "ඇහි බැමේ සිට නිකට දක්වා" යන්න 2007/39 දරණ නව ගැසට් නිවේදනයේ සංශෝධනය වී ඇත්තේ "මුහුණේ කිසිදු කොටසක්" කියාය. එම නිසා නව ගැසට් නිවේදනයේ 4 වන වගන්තියට අනුව හිස්වැසුමකින් නළල ප්‍රදේශයද ආවරණය කිරීම තහනම් වී ඇත. එසේනම් නව ගැසට් නීවේදනයට අනුව පොලිසිය සියලුම හිස්වැසුම් භාවිතය තහනම් කල යුතුය. තවද, 6 වන වගන්තිය යටතේ, දැනට SLS සහතිකය ඇති බොහොමයක් හිස්වැසුම්ද 90% තනිපාටින් නොතිබීම හේතුවෙන් මේ ගසට් නිවේදනයට අනුව පොලිසිය ඒවාද තහනම් කල යුතුය. එසේ නොකර, මෙම ගැසට් නිවේදනය භාවිතයෙන් ෆුල් ෆේස් හිස්වැසුම් පමණක් ඉලක්ක කිරීමට හේතුව පොලිසිය මහජනතාවට වහා පැහැදිලි කල යුතුය. 

අධිකරණ අතුරු තහනම් නියෝගය මගහරවා යමින්, ප්‍රමිතිකරණය මුවාවෙන් ෆුල් ෆේස් තහනම් කිරීමේ හා භාවිතය අධෛර්ය කිරීමේ මෙම රජයේ දිගුකාලීන කූට වෑයම පරාජය කිරීමට අප සංගමය ශ්‍රී ලංකාවේ සියලුම නීතිඥවරුන්ගේ හා මාධ්‍ය ආයතනයන්ගේ සහයෝගය දැඩිව ඉල්ලා සිටිමු. 

වර්ණ නොගැන්වූ වයිසරයක් සහිත ෆුල් ෆේස් හිස්වැසුමක් පැළදි විට පොලීසියෙන් තර්ජන කරනවා නම් වහා එම පොලිස් නිලධාරියාගේ අංකය සටහන් කරගෙන අප සංගමය 0773083479 යන දුරකථන අංකය හරහා වහා දැනුවත් කරන ලෙස සියලුම යතුරුපැදිකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

අප සංගමය ජනාධිපතිවරයාගෙන් මාර්තු 5 වනදා ඉල්ලු සාකච්ඡාව ලබාදෙනවා ද නොදෙනවා ද යන්නට නිසි පිළිතුරක් සැපයීමට ජනාධිපතිවරයාගේ ලේකම්වරුන් තවමත් අපොහොසත් වී ඇත්තේ, ඒ පිලිබඳ අවසාන තීරණය ජනාධිපතිවරයාම ගත යුතු බව කියා මීට දින කීපයකට පෙර අපට දැනුම්දී තිබේ.

මෙයට,

චිරන්ත අමරසිංහ,

ලේකම් - සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

 

Rate this item
(0 votes)