April 24, 2024

ඇමති චම්පික නැවතත් ගුරු වෘත්තියට

කොළඹ 14 තාච්චි වත්ත සිරිමුතු උයනේ පළමු ගුරුවරයා ලෙස දරුවන්ට විද්‍යා ගණිත දැනුම ලබාදීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කටයුතු කළේය. 

හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් ගණිත විෂය ධාරාවෙන් උසස්පෙළ විශිෂ්ඨ ප‍්‍රථිපල ලබමින් මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු පාඨමාලාවේ ප‍්‍රථම සාමාර්ථයක් සමගින් සමත් වූ පාඨලී චම්පික රණවක මහතාගේ පළමු වෘත්තිය වූයේ ගුරු වෘත්තියයි. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ට ගණිත හා විද්‍යාව විෂය ඉගැන් වූ ඔහු විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙකු වශයෙන් ද කටයුතු කළේ ය. 

ඊට සමගාමීව කි‍්‍රයාකාරී දේශපාලනයේ යෙදුනු පාඨලී චම්පික රණවක මහතා කැබිනට් අමාත්‍යවරයෙකු බවට පත් වී වසර 10 ක් ගෙවුණු පසු තම ගුරු වෘත්තීයේ අපූරු මතකයන් සමගින් සිරිමුතු උයනේ දරු දැරියන් 50 කට ආසන්න පිරිසකට ගණිතය හා විද්‍යාව විෂයන්හි සරළ අරුත් දැනෙන සේ විෂයානුබද්ධ කරුණු උගැන්විණ.

අමාත්‍යවරයා සිරිමුතු උයනේ පළමු ගුරුවරයා ලෙස දරුවන්ට විද්‍යා ගණිත දැනුම ලබාදුන්නේ, සිරිමුතු උයන නිවාස ලාභීන්ට අඩුවක්ව පැවැති ප‍්‍රජා ශාලාවක් පසුගිය 18 දා විවෘත කිරීමට එක්වෙමිනි. මෙම ප‍්‍රජාශාලාව ඉදිරියේදී ළමුන්ගේ අධ්‍යාපනය කලා කුසලතා මෙන්ම සිරිමුතු උයන නිවාස ලාභීන්ගේ පොදු කටයුතු සිදු කර ගැනීම සඳහා භාවිතය වෙනුවෙන් පැවරිණ.

ගණිත විෂයේ ඉලක්කම් හැදුනු හැටි ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ අරාබිය ආශ‍්‍රයෙන් හින්දු අරාබි ඉලක්කම් ඇති වූ ආකාරයත්, එය අද ලෝකයේ පිළිගත් ඉලක්කම් ක‍්‍රමය බවත්, වර්තමානයේ දියුණු යැයි සැලකෙන එංගලන්තය, ජර්මනිය ආශ‍්‍රිත යුරෝපය රෝමාණු ඉලක්කම් අතීතයේදී භාවිතයට ගෙන එය ඉවත් කිරීමට හේතු වූ කරුණු කාරණාත් ළමුන්ට ගණිත විෂය සම්බන්ධයෙන් ඇල්මක් ඇතිවන සේ ඉගැන්වීමට අමාත්‍යවරයා කටයුතු කළේ ය.

එකතු කිරීම සහ ගුණකිරීම අතර ඇති සම්බන්ධයත්, බෙදීම හා අඩුකිරීම අතර ඇති සම්බන්ධයත් අමාත්‍යවරයා පැහැදිලි කළේ ය. ගණිතය ඉගෙන ගැනීමට ආශාවක් ඇති කර ගැනීමටත් එය ඉතා පහසුවෙන් වටහාගත හැකි ඉගෙන ගත හැකි විෂය ධාරාවක් බවට පත් කරගෙන ඉන් විෂිශ්ඨ ප‍්‍රථිපළ ළඟා කර ගතහොත් මුළු ජීවිතයම මෙහෙයවිය හැකි සාර්ථක පුද්ගලයෙකු බිහි කරගත හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

විද්‍යාවේ සුලමුල පැහැදිලි කරමින් පෘථිවිය නිර්මාණය වූ ආකාරය, පෘථිවියේ හැඩය සහ උදෑසන හා රාත‍්‍රි කාලය ඇතිවන අයුරු පැහැදිලි කළ ඇමති චම්පික සූර්යාට අඩු දුරක් ඇති එවරස්ට් කඳු මුදුනේ අධික ශීතල ඇතිවීමටත්, සූර්යායට දුර වැඩි අපි මේ සිටින පොළවට වැඩි රශ්මියක් ඇතිවීමට හේතුවත් පැහැදිලි කළේ ය. 

පෘථිවිය තමන් වටේ කැරකැවෙමින් සූර්යා වටේ කැරකැවෙන විට බැලූමක නැගී උස් ආකාශයට නැග ගියත් අප ඉන්නා ස්ථානය/ රට වෙනස් නොවන්නේ ඇයිදැයි ද අමාත්‍යවරයා ඉතා සරළව ළමුන්ට විද්‍යාව පිළිබඳව ආශාවක් කුතුහලයක් ඇතිවන පරිදි පැහැදිලි කළේ ය. අද දවසේ විද්‍යාව ගණිත පන්තියකින් ආරම්භ කළ සිරිමුතු උයන ප‍්‍රජා ශාලාව අනාගත රටේ විද්‍යාව ගණිතය සහ අනෙකුත් ක්‍ෂෙත‍්‍රවල බුද්ධිමතුන් බිහි කරන තැනක් බවට පත් කර ගැනීමට වැඩිහිටි ප‍්‍රජාවගේ දෙමාපියන්ගේ සහ දරු දැරියන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රුපියල් ලක්‍ෂ 90 ක් වැය කරමින් ඉදිකර, අද දවසේ විවෘත කෙරුණු සිරිමුතු උයන කොළඹ 14 තාච්චි වත්ත සේම අවට ප‍්‍රජාවටම අස්වැසිල්ලක් වේවා යැයි ඇමතිවරයා ප‍්‍රාර්ථනා කළේ ය. සිරිමුතු උයන විවෘත කිරීම පෙර නිවාස 68 කින් සමන්විත ජයමග සෙවන නිවාස යෝජනා ක‍්‍රමය වරාය අවට පැල්පත්වාසීන්ට සහ බ්ලූමැන්ඩල් කුණු කන්ද අවට ජීවත් වූ කොටසකට අඳුරු කසල බිම අතහැර අසිරි පිරි පුරවරයක නැවුම් ආශ්වාදය විඳින්නට භාරකෙරිණ. ජයමග සෙවණ නිවාස ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සිදුකළ ආයෝජනය රුපියල් ලක්‍ෂ 1360 කි.

බ්ලූමැන්ඩල් කුණු කන්ද ආශ‍්‍රිත ප‍්‍රදේශය නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කරමින් වරාය නගරයට යටිතල පහසුකම් සපයන ප‍්‍රදේශයක් බවට පත්කිරීමත්, ප‍්‍රදේශයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය, කලා කුසලතා, කී‍්‍රඩා කෞෂල්‍යන් දියුණු කිරීම සඳහා අවශ්‍ය සියළු යටිතල  පහසුකම් ඇතිකිරීමටත්, අවි ආයුධ දරණ පාතාල ලෝකය වෙනුවට ගුණධර්ම රකින පිරිසක් මෙම ප‍්‍රදේශවලින් බිහි කරමින්, නිවාස වෙනුවට ජීවිතයක් ලබාදීම තම අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශකර සිටියේය.  

Rate this item
(0 votes)