April 20, 2024

කළුතර වෙඩි තැබීම : සැකකරුවන් පළා ගිය වෑන් රථය සොයාගනී

February 28, 2017

කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා සැකකරුවන් පළා ගිය බවට සැක කෙරෙන ඩොල්ෆින් වර්ගයේ සුදු පැහැති වෑන් රථයක් හොරණ, මොරගහහේන නගරයේ තිබියදී අද (28) උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මෙම වෑන් රථය ඝාතන සිද්ධියෙන් පසු සැකකරුවන් පළා ගිය වෑන් රථයම ද යන්න තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය පැවසී ය.

කළුතර බන්ධනාගාරයට ආසන්නයේදී පාතාල කල්ලි සාමාජිකයෙකු වන අරුණ දමිත් උදයංග හෙවත් සමයං ඇතුළු රැදවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා සැකකරුවන් පැමිණි කැබ් රථය අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

මෙම කාන්තාව සිය කැබ් රථය කිසියම් පුද්ගලයෙකුට උකසට තබා මුදල් ලබාගෙන ඇති බවත් ඒ අනුව අදාළ කැබ් රථය පුද්ගලයින් කිහිප දෙනෙකු අතර හුවමාරු වී ඇති අතර, අවසන් වරට කැබ් රථය භාවිත කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත් පොලීසිය සදහන් කළේය.

මෙම ඝාතනය සදහා පැමිණි පිරිස මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔවුන් පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක් බවට ද පොලීසිය හඳුනාගෙන ඇත. 

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා සමයං ඇතුළු රැදවියන් රැගෙන ගිය බන්ධනාගාර බස් රථයට කළුතර බන්ධනාගාරය ආසන්නයේදී ඊයේ උදෑසන 8.30ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල විය. 

වෙඩි ප්‍රහාරය සඳහා පැමිණි පිරිස පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී පැමිණ ඇති බවට ද සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබිණි. 

කැබ් රථයකින් පැමිණි පිරිසක් රැදවියන් ගෙන යමින් තිබූ බස් රථය හරස් කර, අසළ වන ලැහැබක සිටි තවත් පිරිසක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ විය. රැදවියන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියෙන් ගමන් කළ බන්ධනාගාර බස් රථයට ද මෙම පිරිස ප්‍රථමයෙන් වෙඩි තබා ඇති අතර පසුව ඔවුන් පැමිණි කැබ් රථය එහි දමා වෑන් රථයකින් පළා ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ අතර මෙහි වගකීම පොලීසිය භාර ගත යුතු බව බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ඊයේ ප්‍රකාශ ක‍ළේය.

එමෙන්ම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ සහ තවත් අයෙකු කළුතර - නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර ඇත.

වෙඩි තැබීමෙන් මිය ගිය පාතාල නායක සමයං ඇතුළු රැදවියන් 5 දෙනා කළුතර බන්ධනාගාරයේ රදවා තිබුණේ ඔවුන්ට ජීවිත තර්ජන එල්ල වී තිබීම නිසා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙනිය සදහන් කළේය.

2015 වසරේ සැප්තැම්බර් මස 23 වනදා ද සමයංට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එහිදී ඔහු තුවාල ලැබූ අතර, ඉන් අනතුරුව මොහු අධිකරණය වෙත රැගෙන ඒමේදී විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබිණි.

Rate this item
(0 votes)