April 16, 2024

බන්ධනාගාර බසයට වෙඩිතැබීම: පාතාල ගැටුමක ප්‍රතිඵලයක්? (VIDEO)

February 27, 2017

කළුතර උතුර, මල්වත්ත ප්‍රදේශයේදී අද(27) උදෑසන බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.

කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත රැඳවියන් රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථයකට කළුතර එතනමඩල ප්‍රදේශයේ දී වෑන් රියක් හරස්කොට මෙම වෙඩි තැබීමක් සිදු කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

අරුණ උදයශාන්ත හෙවත් ‘සමයන්‘ නමැති පාතාල සාමාජිකයා ඇතුළු රැඳවියන් පහක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු සිද්ධියෙන් මියගොස් ඇතැයි ද පොලිස් ඇඳුමින් සැරසී පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසී ය.

රැඳවියන්ගේ ආරක්ෂාවට පසුපසින් පැමිණි බන්ධනාගාර නිලධාරීන් රැගත් තවත් බස් රියකට ද වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එහි සිටි බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ද තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේ අද උදෑසන අටත් - අටයි තිහත් අතර කාලයේදී වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකු සහ එක් රැදවූවෙකු කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් නිලධාරීන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් බන්ධනාගාර නියාමක එස්. සන්නිගම් මහතා සහ බන්ධනාගාර ජේලර් එස්.ආර්. විජේරත්න මහතා මියගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන  එම්.පී අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් ‘සමයං‘ නමැත්තා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

2015 වසරේදී ද අදාළ රැදවූවා ඉලක්කර  කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි. ඔහුට ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

මිට අමතරව සන්තක චලන තිලක් මල්ලිකාගේ, කෝරලගේ අමිල ප්‍රසන්න සම්පත්, වාද්දුව පතිරගේ කැලුම් ප්‍රියංකර සහ ලිඳමුලගේ සුරංග ප්‍රසන්න කුමාර යන රැඳවූවන් මියගිය අය අතර වෙයි.

අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් භාර පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මකය.

මෙම වෙඩිතැබීම පතාල කල්ලි දෙකක් අතර කාලයක් තිස්සේ ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදු වූවක් ලෙස අනාවරණව වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

වෙඩි තැබීමෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන්- 

1) එස් සන්නිගම් - බන්ධනාගාර නියාමක

2) එස් ආර් විජේරත්න - බන්ධනාගාර ජේලර් 

වෙඩි තැබීමෙන් මිය ගිය සැකකරුවන් -

1) එම් පී අරුණ උදයංග පතිරණ (සමයං)

2) සන්තක චලන තිලක් මල්ලිකාගේ

3) කෝරලගේ අමිල ප්‍රසන්න සම්පත්

4) වාද්දුව පතිරගේ කැළුම් ප්‍රියංකර

5) ලිඳමුලගේ සුරංග ප්‍රසන්න කුමාර

එම වීඩියෝව පහතින්,

 

Rate this item
(0 votes)
Last modified on Monday, 27 February 2017 13:10