April 24, 2024

උතුරු, නැගෙනහිර අඛණ්ඩ විරෝධතාවයකට සැරසෙයි

February 28, 2017

උතුරු, නැගෙනහිර සියළුම ස්වේච්ඡා සංවිධාන එක්වී දකුණේ සංවිධාන වලද සහය ලබාගෙන රජයට එරෙහිව උතුරු, නැගෙනහිර පුරා අඛණ්ඩ විරෝධතාවයක් දියත් කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වේ.

රජය විසින් උතුරු, නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ඉටු කරන බවට පොරොන්දු වූ කරුණු මෙතෙක් ඉටු නොකිරීමට විරෝධය පල කිරීමේ අරමුණින් මෙම අඛණ්ඩ විරෝධතාවය දියත් කිරීමට එම සංවිධාන බලාපොරොත්තු වන බව වාර්තා වේ.

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බලා එම පවුල් වලට සාධාරණයක් ඉටු නොකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, ත්‍රස්ත මර්දන පනත අහෝසි නොකිරීම, රජය හා ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන ඇති උතුරේ වැසියන්ට අයත් ඉඩම් නිදහස් නොකිරීම ඇතුළුව තවත් ඉල්ලීම රැසක් මුල් කරගෙන මෙම විරෝධතාවයන් දියත් කිරීමට සූදානම් වේ.

දැනටමත් සිය ඉඩම් ඉල්ලා මුලතිවු කේපාපිලවු ගම්මානයේ වැසියෝ කේපාපිලවු ගුවන් හමුදා කදවුර ඉදිරිපිට පෙබරවාරී පලමු වෙනිදා සිට අඛණ්ඩ විරෝධතාවයක් දියත් කොට ඇති අතර අතුරුදහන් වූවන් සොයා දෙන මෙන් රජයට බල කරමින් තවත් අඛණ්ඩ විරෝධතාවයක් කිළිනොච්චිය කන්දසාමී කෝවිල ඉදිරිපිටදී පෙබරවාරි 15 වෙනිදා සිට ආරම්භ කොට ඇත.

මීට මතරව වවුනියාවේ ස්ථාන දෙකකදීද ඉල්ලීම් කීපයක් ඉල්ලමින් මාරන්තික උපවාසයක් හා අඛණ්ඩ විරෝධතාවයක් දියත් වී තිබේ.

මෙම විරෝධතා වලට රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසා සංවිධායකයෝ මුළු උතුරු නැගෙනහිර දෙපළාතේම අඛණ්ඩ විරෝධතා පැවැත්වීමට සූදානම් වෙති.

දිනසේන රතුගමගේ

 

Rate this item
(0 votes)