April 25, 2024

ගුරුවරයාගේ ලිංගික අල්ලස් කතාවෙන් බටේමුල්ල හෙල්ලේ

ඉමදූව, බටේමුල්ල මහා විද්‍යාලයේ ලිංගික අල්ලස් කතාව බොරුවක් බව එම විද්‍යාලයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.

ඉමදූව, බටේමුල්ල මහා විද්‍යාලයේ සිසුවියක ඇතුළත් කර ගැනීමට යාමේ දී ලිංගික අල්ලසක් ලබා ගත්තා යැයි ඉමදුව ප්‍රාදේශීය සභාව තුළ ප්‍රකාශ වූ ප්‍රකාශය බොරුවක් මත සිදු වූ කටකතාවක් පමණක් බව අද (27) වැනි දා රැස් වූ එම විද්‍යාලයේ කළමනාකාර කමිටුව විසින් තීරණය කර ඇත.

මාධ්‍යවල පළ වූ ඇතැම් කරුණු සම්බන්ධයෙන් අදාල කළමනාකරණ කමිටුව අද රැස් වූ අතර එය මාධ්‍යයට ද විවෘත කර තිබිණි.

එවැනි සිද්ධියක් සිදු වූ බවට සාක්ෂි නොමැති බවත් විද්‍යාලය අපකීර්තියට ලක් කිරීම සඳහා මෙය සිදු කර ඇති බවත් එහි දී බොහෝ ගුරුවරු හා අංශ ප්‍රධානීහු පැවසූහ.

මේ සම්බන්ධයෙන් මෙහි දී අදහස් දැක් වූ විද්‍යාලයේ විදුහල්පතිනිය එච්වයි සුමිත්‍රා මහත්මිය මෙසේ පැවසී ය. 

"මේ ප්‍රාදේශීය සභාවේ ඉන්න අයට ඕන මාව මේ පාසලෙන් යවා ගන්න. ඒකට මේ එක එක දේවල් හොයලා මඩ ගහනවා. පාසලේ විනය ඉතා ම හොඳින් පවත්වාගෙන යනවා. මේ කොට්ඨාශය තුළ තියෙන හොඳ ම ප්‍රථිපල තියෙන පාසල මේක. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවා ඇවිත් අපේ ප්‍රථිපල ගැන ඇගයීමක් කරලා ගියා. 

ප්‍රාදේශීය සභාව වගේ වැදගත් තැනක මෙවැනි පැමිණිල්ලක්වත් නැති කට කතාවක් ප්‍රකාශ කිරීම ගැන කණගාටු වෙනවා. ඔය සිද්දියට සම්බන්ධ යැයි කියන දරුවගේ තාත්තාගෙනුමත් මම මේ පිළිබඳ අහුවා, ඔහු පැවසුවේ මට අවශ්‍ය දරුවා පාසලට දාගන්න විතරයි කියලා. 

ඔය කියන දේවල් ඔහු පැවසුවේ නෑ. අද පාසලේ ළමයි නිළ ඇඳුම පවා ඉතා හොඳින් ඇඳගෙන විනයවත් ව එනවා. මේ ගැන තියෙන ඉරිසියාවට තමයි මෙහෙම දේයක් කළේ. මට තව අවුරුදු 02 ක් සේවය කරන්න තියෙනවා. මම ඒ සේවය අවසන් කරන්නේ නැති ව යන්නේ නෑ. 

අපි රාජ්‍ය සේවකයෝ, අපිටත් ආත්ම ගෞරවයක් තියෙනවා. මම රාජ්‍ය සේවා කොමිසමෙන් නිර්දේශ වෙලා ආපු විදුහල්පතිනියක්. මෙහෙම ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ නිකුත් කිරීමේ දී ඒ ගැන සොයා බලා ප්‍රකාශ නිකුත් කිරන්නේ නම් හොඳයි."

ඒ අනුව විද්‍යාලයේ කළමනාකරණ කමිටුව තීරණය කළේ අදාල ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බවත් එවැනි දෙයක් පාසල තුළ සිදු නොවී ඇති බවත් ය. ඒ අනුව මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවට හා ඉමදූව සම්බන්ධීකරණ කමිටුවට ලිපියක් මගින් දැනුම් දෙන බවයි.

ඉමදූව - ලංකින්ද නානායක්කාර 

Rate this item
(3 votes)