March 28, 2024

ඉමදූව දිසා රෝහලේ ගැටළු රැසයි (ඡායාරූප සහිතයි) 

ඉමදූව දිසා රෝහලේ පවතින අඩුපාඩුකම් රැසක් හේතුවෙන් ඉමදුව රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් මෙන් ම රෝහලේ කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවයකට පත් ව ඇත.

හබරාදූව හා වැලිගම මැතිවරණ කොට්ඨාශ දෙකට මායිම් ව පිහිටි ඉමදූව රෝහල යනු අවට ඇති ඉමදූව, වැලිපිටිය, යක්කලමුල්ල, බෝගහගොඩ, කනංකේ යන නගරයවල ජනතාවට සෞඛ්‍ය පහසුකම් සලසන එක ම රෝහල වේ.

අධිවේගී මාර්ගයේ ද පින්නදූව, ඉමදූව, කොක්මාදුව යන අන්තර් හුවමාරු අතර යම් අනතුරක් සිදු වුවහොත් තුවාලකරුවන් රැගෙන ඒමට සිදු වන්නේ ද මෙම රෝහලට ය.

එසේ රටට ගමට සේවාවක් සැපයිය යුතු රෝහලේ අද පවතින තත්වය ඉතාම කණගාටුදායක ය. 

රෝහලකට අත්‍යවශ්‍ය ම අංගයක්වන විදුලි ජනක යන්ත්‍රය අක්‍රීය වී දැනට මාස 08 කට ආසන්න ය. සුළු අලුත්වැඩියාවකින් එය සාදා ගත හැකි තත්ත්වයේ තිබුණ ද එය අතහැර දමා ඇත.

ශීතකරණවල ම අඩු උෂ්ණත්වයේ තැබිය යුතු අධි මිල සහිත ඖෂධ වර්ග රෝහලේ ශීතකරණ තුළ තිබුණ ද විදුලි ජනක යන්ත්‍රයේ අලුත්වැඩියාවක් පිළිබඳ හෝ බලධාරීන් මෙතෙක් අවධානය යොමු කර නොමැත.

රෝහලේ ඊසීජී යන්ත්‍රය අක්‍රීය වී දැනට මාස 02 කට වැඩි වුව ද ඒ සඳහා ද මෙතෙක් විසඳුමක් ලැබී නැත. හෘද රෝගීන්ට අත්වශ්‍ය ම මෙම යන්ත්‍රය අක්‍රීයවීම හේතුවෙන් බොහෝ හෘද රෝගීන්ට විශාල දුරක් ගෙවා කරපිටිය රෝහලට යෑමට සිදු ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ඉමදූව රෝහලේ මාතෘ සායනය පිහිටා ඇත්තේ රෝහලේ ඇති පැරණි ම වාට්ටුවේවන අතර මෙහි වහලය හොඳට ම දිරාපත් වී ඇත. මීට වසර 03 කට පමණ පෙර එම ගොඩනැගිල්ලේ වහල සෑදීම පසෙකලා අදාල සිවිලිම අලුත්වැඩියා කර ඇති අතර වහලය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් වැසි දිනයන්හි දී නව සිවිලිමට ජලය වැටීම හේතුවෙන් එය ද මේ වනවිට දිරාපත් වී ඇත.

වැසි දිනයන්හි දී මෙම වාට්ටුවේ සිටීමට ඉතා ම අපහසු තත්වයක් ඇති වී ඇත. මෙම හේතුව නිසා ම රෝහලේ මාතෘ සායනය ඇති ගොඩනැගිල්ල මව්වරුන් නොපැමිණීමෙන් හිස් ව පවතී.

රෝහලේ මුළුතැන්ගෙහි තත්ත්වය අන්ති ම නරක ය. වහල කඩා වැටීමට ආසන්න තත්ත්වයේ ඇත. වැසි දිනවල මුළුතැන්ගෙය ජලාශයක ස්වරූපයක් ගනී.

රෝහල් කාර්ය මණ්ඩලය මෙහි රාජකාරී සිදු කරනුයේ ද ඉතාමත් අපහසුතාවයකිනි. 

ලංකින්ද නානායක්කාර

Rate this item
(0 votes)