April 25, 2024

ලොරි දෙකකට සිර වූ ‘දැරිවිය මාරයා බිලි ගනී‘ (ඡායාරූප සහිතයි)

කුරුණෑගල, තිත්තවැල්ල, සාරගම වැව අසලදී ලොරි දෙකක් එකිනෙක ගැටීමේදී එම ලොරි දෙක අතරට සිරවූ යතුරු පැදියක ගමන් ගත් නව හැවිරිදි දැරිවියක ඊයේ (23) පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූවාය.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ සාරගම ජනාධිපති බාලිකා විද්‍යාලයෙහි 3 වැනි වසරේ ඉගෙනුම ලැබූ මාවතගම ප‍්‍රදේශයේ  පදිංචි පූජනී විචක්ෂණා අධිකාරි  නැමැති දැරියකි.

පාසලේ පැවැති අමතර පන්තියකට සහභාගීවීමෙන් පසුව ඇගේ මව  විසින් පැදවූ යතුරු පැදියේ ඉදිරිපස වාඩි වී සිය නිවස බලා යමින් සිටියදී පූජනී විචක්ෂණා දැරිය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නාය. පූජනී දැරිය සහ ඇගේ මව පාසලේ සිට කුරුණෑගල නගරය දෙසට ගමන් කර ඇති අතර ඒ අවස්ථාවේදී ඔවුන් ගමන්ගත් යතුරු පැදියට ඉදිරියෙන් ටිපර් වර්ගයේ ලොරියක්ද සහ පසුපසින් ඩිමෝ බට්ටා වර්ගයේ ලොරියක් ධාවනය වී තිබේ. 

යතුරු පැදියට ඉදිරියෙන් ගමන් කළ ටිපර් ලොරියෙහි රියදුරා විසින් සාරගම වැව අසලදී එක්වරම තිරිංග තද කිරීම හේතුවෙන් පසුපසින් පැමිණි බට්ටා ලොරි රථයෙහි රියදුරාට වේගය පාලනය කර ගත නොහැකිව යතුරු පැදියද යට කරගෙන ගොස් ටිපර් රථයෙහි පිටුපස කොටසේ ගැටී තිබේ. 

ලොරි රථ දෙක අතර ගැටුමට මැදිව බරපතල ලෙස තුවාල ලැබූ පූජනී විචක්ෂණා දැරිය අනතුරින් බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මිය ගොස් ඇත. අනතුර හේතුවෙන් පාදයකට බරපතල ලෙස තුවාල වූ පූජනී විචක්ෂණා දැරියගේ මවද කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවාය. 

අජන්ත රත්නායක - කුරුණෑගල

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 June 2014 09:13