April 19, 2024

බම්බලපිටිය පොලිසියේ ඉඩමටත් හොර ඔප්පු හදලා

බම්බලපිටිය පොලිස් ස්ථානයට අයත් ඉඩමේ තමන්ටද අයිතියක් ඇති බව පවසමින් ව්‍යාජ ලිපි ලේඛන සහිත ඔප්පු සකසා එම ඉඩමෙන් කොටසක් ලබා ගැනීමට උත්සාහ ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් එම පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ පුද්ගලයා විසින් පැරැණි භූමි සැලැසුමකට ඔප්පුවක් සකසා ඇති බවත් එම සැලැසුම 1918දී ඇඳපු එකක් බවට හා එම ඔප්පුව 1983 වසරේදී ලියා ඇති බවටත් පොලිසියට අනාවරණය වී ඇති බව ලංකාවේ පළවන පුවත්පතක් අද වාර්තා කර තිබේ.

මෙම පුද්ගලයාට පැමිණ තමන්ට අයත් මායිම පෙන්වන ලෙස පොලිස් නිලධාරීන් පවසා ඇති නමුත් ඔහුට එම මායිම හරියාකාරව පෙන්වීමට නොහැකි වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

එම භූමියේ 1949ට අයත් සැලැස්මකට අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සඳහන් ලිපි ලේඛන ආදර්ශ පිළිබඳවද විමර්ශනය කොට එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර මෙම ඉඩමට අයත් භූමිය පිළිබඳව සැබෑ භුක්තිය පිළිබඳව වාර්තා සහිත පරීක්‍ෂණයක් පවත්වා ව්‍යාජ ඔප්පු රැගෙන ඉඩමට අයිතිවාසිකම් කියා පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත්, පොලිසිය සඳහන් කළේය. බම්බලපිටිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

 

Rate this item
(1 Vote)