April 19, 2024

අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ සූදානමක්

ආගමික අන්තවාදය ක්‍රියාත්මක කරමින් අන්තර්ජාතික බලවේගවලට සහයවන ආගමික රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලංකාව තුළ ක්‍රියත්මක වන බව බුද්ධි අංශ විසින් සිදු කළ විමර්ශනවලින් හෙළිවී ඇති බැවින් එම සංවිධාන තහනම් කිරීම සඳහා රජයේ දැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව විදේශ රටවල් 07කින් අරමුදල් ලබන ආගමික රාජ්‍ය නොවන සංවිධාන 14 ක්‌ මෙරට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර බුද්ධි අංශයේ නිලධාරියකු සකස්‌ කළ රහසිගත වාර්තාවකින් හෙළි වී තිබේ.

එම නිලධාරියා සිය විමර්ශන වාර්තාව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයට ද යොමු කර ඇති අතර එක්‌ අන්තවාදී ආගමික සංවිධානයක සන්නද්ධ වූ 150 කගෙන් යුත් පිරිසක්‌ ද සිටින බව එම රහස්‍ය වාර්තාවට අනුව අනාවරණ වී ඇත. 

මෙම ආගමික සංවිධානවලින් 10 ක්‌ කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අතර ඉතිරි සංවිධාන අනෙකුත් පළාත්වල ක්‍රියාත්මක වී ඇති බවත් එකී අන්තවාදී ආගමික සංවිධාන මෙරට යුද සිදුවීම් පවා අතිශයෝක්‌තියෙන් යුක්‌තව විදේශ බලවේගවලට සපයා ඇති බවත් මෙරට බුද්ධි අංශ විසින් පසුගිය කාලය තුළ සිදු කළ විමර්ශනවලින් හෙළිවී තිබේ.

මේ අතර එක්‌ ආගමික සංවිධානයක නිලධාරියකු ස්‌කැන්ඩිනේවියානු රජය සමග දැඩි ලෙස සබඳකම් පවත්වන්නෙකු බවත් එම රටේ බුද්ධි සේවාවට සම්බන්ධ වූවෙක්‌ ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ඇති බවත් අනාවරණ වී තිබේ.

මේ අනුව මෙකී සංවිධානවලට අරමුදල් ලැබෙන ආකාරය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් විමර්ශනය කෙරෙන බව වාර්තා වෙයි.

රජය විසින් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධව නව නීතිරීති පැනවීමට පසුගියදා තීරණය කර ඇත.

 

Rate this item
(1 Vote)