March 29, 2024

අධිකරණ සේවකයා අධිකරණය විසින් ම රිමාන්ඩ් කරයි 

හලාවත අධිකරණයේ විභාගවන නඩු අවසන් බවට කූඨ ලේඛණ සකස් කර මුදල් ජාවාරමේ නිරත වූ අධිකරණ සේවකයෙක් ජූලි මස 01 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත දිසා විනිසුරු ශිවන්ත මංචනායක මහතා නියෝග කළේ ය.

බිංගිරිය, නාගොල්ලාගම පදිංචි හලාවත අධිකරණ සංකීර්ණයේ අංක 02 ශාලාවේ සේවය කළ සුළු සේවකයෙක් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

බංගදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් නීති විරෝධී කසිප්පු තොගයක් ද සමග හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහි නඩු පවරා ඇත. එහෙත් එම නඩුව මෙතෙක් කැඳවා  නොමැත. පොලීසිය විසින් ඒ සම්බන්ධයෙන් සොයා බලා තිබේ.

මේ අතර අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙක් හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ දී තමන් විසින් අධිකරණයට දඩ මුදල් ගෙවා ඇති බවට වූ ලියවිල්ලක් සැකකරු විසින් පොලීසියට පෙන්වා ඇත.

අනතරු ව පොලීසිය විසින් මේ බව හලාවත අධිකරණයේ රෙජිස්ටාර්වරයාගෙන් විමසා තිබේ. රෙජිස්ටාර්වරයා පවසා ඇත්තේ එම ලියවිල්ලේ ඇත්තේ තමාගේ අත්සන නොව ව්‍යාජ එකක් බවයි.

ඒ අනුව සිදු කළ විමර්ශණයකින් අනතරු ව සැකකාර අධිකරණ සේවකයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නඩුවල ලිපි ගොණු සඟවා එම නඩු අවසන් බවට ව්‍යාජ ලෙස ලිපි සකස් කර සැකකරු විසින් එම ජාවාරම සිදු කර ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

සැකකරු මේ ආකාරයට අව ම වශයෙන් අධිකරන ලේඛණ 15 ක් පමණ සඟවා ව්‍යාජ ලිපි සකස් කර ඇති බවට විශ්වාස කරන බව පොලීසිය කියයි.

ඔහු ඒ සඳහා අදාල නඩුවල විත්තිකරුවන්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවට විශ්වාස කරන බව ද පොලීසිය සඳහන් කරයි.

හලාවත පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරයි

පුත්තලම - ජුඩ් සමන්ත 

Rate this item
(0 votes)