April 18, 2024

දෙමළ ජනතාවගේ ඉඩම්වල සිංහල ජනතාව පදිංචි කිරීම ගැන දෙමළ සන්ධානයෙන් විරෝධයක්

වවුනියාව කොක්එළිය ප්‍රදේශයේ ඉදි කර ඇති නව නිවාස සංකීර්ණය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාව තුළ දී ඊයේ (24) විරෝධතාවයක් පළ වී තිබේ.

උතුරේ දෙමළ වැසියන්ට අයත් ඉඩම්වල සිංහල ජනාවාස ඉදිකිරීම බලහත්කාරයෙන් සිදු කරන බවට චෝදනා එල්ල කරමින් මෙම විරෝධය ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ සර්වේස්වරන් මන්ත්‍රීවරයා විසින් ය.

සභාපතිවරයා ඉදිරියට ගොස් එම මන්ත්‍රීවරයා විරෝධය පලකළ අවස්ථාවේ දී තවත් මන්ත්‍රීවරු රැසක් කෑකෝ ගසමින් ඔහුට සහයෝගය දැක් වූ බව උතුරු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වී.ජයතිලක මන්ත්‍රීවරයා පැවසී ය.

යුද අනාථයින් යළි පදිංචිකිරීමේ දී මෙන්ම බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉදිකිරීමේ දී ද යුද හමුදාව ස්ථාන ගතවීමේ දී ද උතුරේ දෙමළ වැසියන්ට අයත් ඉඩම් යොදා ගැනීම පිළිබඳ මන්ත්‍රීවරයා එහි දී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතානගේ මහතාගෙන් මේ පිළිබඳ විමසූවිට මෙම නිවාස 51 ඉදිකොට ඇත්තේ සංහිඳියාව හා සමගිය ඇති කිරීමේ අරමුණින් බව කියා සිටියේ ය.

මෙම ගම්මානය සඳහා සිංහල පවුල් මෙන්ම දෙමළ පවුල් ද තෝරාගෙන ඇති බව කී ලේකම්වරයා සුදුස්සන් තෝරා ගන්නා ලද්දේ නිසි ක්‍රමවේදයකට අනුව ඉල්ලුම්පත් කැඳවීමකින් බව ද කියා සිටියේ ය.

දෙමළ තරුණියක් විවාහ කරගත් සිංහල යුද හමුදා සෙබලෙකු ද, ආරක්ෂක අංශයට එක් වූ දෙමළ තරුණියන් 06කට අයත් පවුල් ද, දරුවන් 07 දෙනෙකු සිටින පවුලක් ද මෙම ගම්මානයේ පදිංචි කරවීම තුළින් ජාතීන් අතර සංහිඳියාව මෙන්ම ජාතික සමගිය ද ඇතිවන බව ලේකම්වරයා පැවසී ය.

කෙසේ වුව ද වවුනියාවේ කොක්එළිය නව ගම්මානය අප්‍රේල් මස 03 වැනි දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

වවුනියාව - දිනසේන රතුගමගේ 

 

Rate this item
(0 votes)