April 25, 2024

කොණ්ඩයා අල්ලන්න දැවැන්ත මෙහෙයුමක්

කොටදෙණියාව සේයා සදෙව්මී ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන පසුව මුදා හළ දුනේෂ් ප්‍රියශාත්ත නොහොත් 'කොණ්‌ඩයා' අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලිසියේ විශේෂ කණ්‌ඩායමක්‌ පෙරේදා (23) දවස පුරා දැවැන්ත සෝදිසි මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළත් කොණ්ඩයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

ඔහු ගම්පහ ප්‍රදේශයේ විශ්‍රාමික නාවික නිලධාරියෙකුගේ ගෙවත්තට ඇතුළු වී නිරුවතින් හැසිරී ඇති අතර ඒ අනුව පොලීසිය ක්‍රියාත්මක වීමත් සමග කොණ්ඩයා ප්‍රදේශය අතැර පළා ගොස් ඇතැයි පැවසේ.

වත්තේ සිටින එළදෙනක කෑ ගසන ශබ්දය ඇසී ගොස්‌ බලද්දී කොණ්‌ඩයා නමැත්තා එළදෙන අසල සිට පැන ගිය බව අදාළ නාවික නිලධාරියා ප්‍රකාශ කර තිබෙන අතර එළදෙනගේ ගෙල පෙදෙස සිරකර බැඳ තිබූ බවත් සැකකරු එළදෙනට අස්‌වාභාවික වධ දී ඇති බවත් ඔහු සඳහන් කොට ඇත.

පසුව ගෙවත්ත පරීක්‍ෂා කරද්දී සැකකාර කොණ්‌ඩයාගේ ඇඳුම් කිහිපයක්‌ සහ කාන්තා යට ඇඳුම් කිහිපයක් ද හමුවී තිබෙන බවත් මීට මාසයකට පමණ තම දියණියකගේ කාමරයේ වහළ මත උළු කැට කිහිපයක්‌ ද ගලවා තිබූ බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මෙය ද කොණ්‌ඩයා විසින් සිදුකර ඇතැයි සැකකරන බව ඔහු පොලීසියට පැමිණිලි කර තිබෙන අතර පසුගිය කාලයේදී කොණ්ඩයාගේ රුව නිතර මාධ්‍ය ඔස්‌සේ දැක ඇති නිසා තම වත්තේ සිටියේ ඔහු බවට තමා පැහැදිළිව හඳුණා ගත් බව නාවික නිලධාරියා පවසා ඇත.

කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය දූෂණය කොට කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොණ්‌ඩයා වෙත මුලින් චෝදනා එල්ල වී තිබුණ ද පසුව ඊට වරදකරු වී මරණ දඬුවම නියම වූයේ ඔහුගේ සොයුරාට ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 March 2016 11:39