April 19, 2024

මහ වැස්සෙන් ජන ජීවිතය අඩාලයි 

මේවන විට පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව 13දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් තවත් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ලාල් සරත් කුමාර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ඉන් වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයට වන අතර කළුතර දිස්ත්‍රික්කයේ පමණක් 11 දෙනකු මිය ගොස් ඇති බවත් මේවන විට පවුල් 1790ක් පමණ අවතැන් වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පවතින සුලං ප්‍රවාහයේ අභිසාරීතාවය හේතුවෙන් දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  වැසිසහිත කාලගුණ තත්වයක් ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ඊයේ (01) රාත්‍රී රාගම දුම්රිය ස්ථානය ජලයෙන් යටවී ඇති අතර ජලය බැස යන තුරු ප්‍රධාන මාර්ගයේ හා හලාවත මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේවන විට පවතින අධික වැසි තත්ත්වය ‍හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයක් මතුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසී ය.

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත හා කලවාන ඇතුළු ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බවත් මේ හේතුවෙන් පුද්ගලයින් විශාල පිරිසක් පීඩාවට පත් ව ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය.

දිවයින පුරා මේ වනවිට පවතින අයහපත් කාලගුණය නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 60 කට අයත් පුද්ගලයින් 140 දෙනෙකු අවතැන් වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් එල්.ඩී. අන්නක්කගේ මහතා පවසයි. 

එසේම නියාගම ප්‍රදේශයේ පුර්ණ හානි නිවාස 2 ක් ද, අර්ධ නිවාස හානි 12 ක් වාර්තා වෙයි. ඇල්පිටිය දිවිතුර ප්‍රදේශයේ නිවාස 10 ක් ගංවතුර නිසා යට වී ඇත. යක්කලමුල්ල හිරිඹුර ගම්මානය ද ගංවතුරෙන් යට වී ඇති අතර එහි නිවාස හතරක නිවාස හිමියන්ට උන්හිටි තැන් අහිමි වී ඇත.  යක්කලමුල්ල කලුදියවල නිවසකට පස්කන්දක් කඩා වැටී ඇති අතර ජීවිත හානි සිදු වී නොමැත. පිටිගල ප්‍රදේශයේ නිවාස 15 ක් මේ වනවිට ජලයෙන් යට වී ඇත.

මාකුඹුර ඉමදුව මාර්ගය තැන් කීපයකින් ගංවතුරෙන් යට වී ඇති නිසා අහංගම මාකුඹුර බස් ධාවනය ඇන හිට ඇත. උඩුගම හෝමගල මාර්ගය ද පස් කන්දක් කඩා වැටීම නිසා අවහිර වී ඇත. තලගස්වල මාපලගම මාර්ගය, නාගොඩ කරුපනාව මාර්ගය ද, බංගම උඩුගමපොල මාර්ගය, ඇල්පිටිය මාර්ගයේ මාපලගම තැපැල් කාර්යාලය අසල සිට, මාපලගම පනංගල මාර්ගය, ගෝනල‍ගොඩ ඇතුමලේ මාර්ගය, උතුරු පිටිගල පැලවත්ත මාර්ගය ද ජලයෙන් යට වීම නිසා ගමනාගමනයට බාධා සිදු වී ඇත. 

මේ අතර කරන්දෙණිය ඌරගහ මංසන්ධිය අසල බෝධිමළුව විහාරස්ථානයේ වසර සියයකට වඩා පැරණි බෝගස කඩා වැටී ඇතිබව විහාරාධිපති හිමියෝ පවසති. මෙම බෝගහ කඩා වැටීම නිසා කිසිවෙකුටත් හානිසිදුව නොමැති අතර, ඒ අසන්නයේ තිබු බුදුපිලිම කිහිපයකට බෝගස බිම පතිත ව ඇති නමුත් කිසිදු හානියක් සිදුව නොමැති බව දැකිය හැකිවුහ. 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 02 June 2014 17:08