April 20, 2024

කිරිපිටි මිලේ ඇත්ත කතාව

ලෝක කිරිපිටි මිල පහළයාමක් වාර්තා වුවද, මෙරට කිරිපිටි මිල පහළ දැමීමට මේවන තෙක් බලධාරීන් හෝ කිරිපිටි සමාගම් කටයුතු කර නොමැත.

අවසන්වරට මෙරට කිරිපිටි මිළ ඉහළ නැංවීමට කටයුතු කළේ පසුගිය පෙබරවාරි මාසයේදී වන අතර ඒ කිරිපිටි ග්‍රෑම් 400ක පැකැට්ටුවක් රුපියල් 61කින්ද, කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක් මිල රුපියල් 152කින්ද ඉහළ දැමීමට කටයුතු කරමිනි. ඒ වනවිට ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල මෙට්‍රික් ටොන් 1ක් අමෙරිකානු ඩොලර් 5150ක් ලෙස වාර්තා වී තිබිණි.

නමුත් පසුගිය අප්‍රේල් මස වනවිට ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල මෙට්‍රික් ටොන් 1ක් අමෙරිකානු ඩොලර් 3990ක් වූ අතර එය මැයි මාසයේදී අමෙරිකානු ඩොලර් 3775ක් ලෙස වාර්තා වී තිබිණි.

කිරිපිටි මිල පාලනය හා නියාමනය කිරීමේ නිසි බලධරයා වන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි. අප මේ සම්බන්ධයෙන් එහි ප්‍රකාශකයෙකුගෙන් විමසූවිට සඳහන් කළේ ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල පිළිබඳ තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා රේගුවෙන් හා ආනයනකරුවන්ගෙන් තොරතුරු ලබා ගන්නා බවත් මේවන තෙක් කිරිපිටි මිල පහළ දැමීමට තීරණයක් ගෙන නොමැති බවත්ය.

නමුත් පසුගියදා පැවති උත්සවයකදී මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසූවේ දේශිය කිරි ගොවියා ආරක්ෂා කිරීමට අත්‍යාවශ්‍ය බැවින් ආනයනික කිරිපිටි මිල පහල දැමීමට මේවන විට කටයුතු කර නොමැති බවයි.

අප මේ සම්බන්ධයෙන් කිරිපිටි සමාගම් කිහිපයකින් විමසූ අතර එහිදී ඔවුන් ප්‍රකාශ කළේ ආනයන වියදම් සැසඳීමක්ද මිල තීරණය කිරීමේදී බලපාන බවත් කිරිපිටි මිල පහල දැමීමට පාරිභෝගික අධිකාරියෙන් නිර්දේශ කර නොමැති බවයි.

“වර්ෂයකට අපේ රටට කිරිපිටි ටොන් 90,000ක් පමණ ලංකාවට අවශ්‍යයි. එයින් 90%ක්ම අපි විසින් ආනයනය කරනු ලබනවා. මේවා ප‍්‍රතිශතාත්මකව ගත්තොත් ලෝකයේ ඉහළම අගයන්. ලෝකයේ දියුණු රටවල් කිරිපිටි පාව්චිචි කරන්නේ නැහැ. නමුත් අපේ රට කිරිපිටි උගුලක හිරවෙලා ඉන්නවා. ආණ්ඩුවේ දුර්වලකම නිසා රටේ කිරි අවශ්‍යතාවයෙන් දේශීයව සම්පූර්ණ වන්නේ 10%ක් පමණයි.“ යැයි ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික සංවිධායක බිමල් රත්නායක මහතාද පෙන්වා දී තිබිණි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 02 June 2014 16:26