April 20, 2024

“ඡන්දේ දෙන්න ලේසි ක්‍රමයක් ඕනෑ“ - කීර්ති තෙන්නකෝන් 

ඡන්දහිමියන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන නෛතික ප්‍රතිපාදන සහ ක්‍රමවේදය වඩාත් සරළ සහ පහසු ආකාරයට වෙනස් කිරීම පිළිබද ප්‍රතිපත්ති තීරකයින්ගේ අවධානය යොමු විය යුතුව ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින්ගේ දිනය සැමරූ ඊයේ (01) දිනයේ නිවේදෙනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේ ය.  

සෑම වසරකම ජූනි - අගෝස්තු මාසවල දී, වයස අවුරුදු 18 ඉක්මවූ ඡන්ද බලය හිමි පුද්ගලයින් පිළිබද සමීක්ෂණයක් සිදු කොට එමගින් ඡන්දහිමි නාමලේඛණ ප්‍රතිශෝධනය සදහා කටයුතු කිරීම තුලින් අති විශාල පිරිසකට ඡන්ද අයිතිය අහිමි වෙමින් තිබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

බිම් සමීක්ෂණය සදහා ඡන්දදායකයින්ගේ උනන්දුවක් නොමැතිවීම, නොදැනුවත්කම, සමීක්ෂණ නිලධාරීන්ගේ සහ කාර්යාලයීය අතපසුවීම් මෙයට හේතුවේ. වාර්ෂිකව තම නම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුලත් කොට ගැනීමට නොහැකි වන පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වේ.

සෑම වසරකම ලක්ෂ 4 කට ආසන්න පිරිසක් අලුතෙන් ඡන්දදායකයින් ලෙස ලියාපදිංචි වන අතර, තවත් දහස් ගණනකට ඡන්ද අයිතිය අහිමි කිරීමට ඡන්දහිමියන් පිළිබද වාර්ෂික බිම් සමීක්ෂණය හේතු වී ඇත.

“ඡන්දහිමි නාමලේඛනය ඕනෑම මැතිවරණයක වඩාත් වැදගත් ලියවිල්ලක් වේ. නිවැරදි නොවන, සාධාරණ නොවන ඡන්ද හිමි නාමලේඛණයක් මගින් කිසිදු විටෙක නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි වන්නේය.  ඡන්දහිමියෙකු වශයෙන් ලියාපදිංචිවීමට ඇති නීතිමය රාමුව යල්පැනගිය එකකි. ලෝකයේ බොහෝ රටවල් වඩාත් සරළ හා පහසු ආකාරයෙන් ද, නම්‍යශීලී ආකාරයෙන් ද ඡන්ද හිමියන්ට ලියාපදිංචි වීම සදහා අවස්ථාව සකසා දී තිබේ. “ යැයි එම නිවේදනයේ දැක්වේ.

ඡන්දදායකයින් ලෙස නිසි වයස සම්පූර්ණ කරන සෑම පුද්ගලයෙකුට තමන් කැමති අවස්ථාවක දී ඡන්දහිමි නාමලේඛනයට නම ඇතුලත් කර ගැනීමට අවස්ථාව සලසාදීම රටක් සතු වගකීමක් බවත් මෙරට යල් පැනගිය බොහෝ මැතිවරණ නීති මැතිවරණ දුෂණ සහ අක්‍රමිකතාවන් සදහා පිටුවහලක් වී ඇතිවා පමණක් නොව ඡන්ද අයිතිය හිමි තවත් විශාල පිරිසකට එම අයිතිය අහිමි කිරීමට ද හේතු වී තිබෙන බවත්  කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි. 

 

Rate this item
(0 votes)