April 23, 2024

අධිකරණ නියෝගය පසෙකට, පා ගමන ඉදිරියට

සරසවි සිසුන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කැළණිය සරසවියේ සිට කොළඹ, කොටුව දක්වා පවත්වන පා ගමන වැලැක්වීමට පොලීසිය ලබා ගත් අධිකරණ නියෝගය භාරගෙන නොමැති බවත් පාගමන පෑලියගොඩ පසු කරමින් ඉදිරියටත් පවත්වන බවත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූවිට සඳහන් කළේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සිසුන් 15 දෙනෙකුට අද(19) අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණ  නියෝගයක් ලබාගෙන ඇති බවයි.    

විශ්වවිද්‍යාල තුළ පවතින ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සංවිධාන කළ පාගමනක් මේවන විට කැළණිය සරසවියේ සිට කොළඹ, කොටුව වෙත පැමිණීම හේතුවෙන් නුවර මාර්ගයේ රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

සරසවි සිසුන් 200ක පමණ සහභාගීත්වයෙන් විරෝධතා පා ගමන පැවැත්වෙන අතර එම පා ගමන මේවන විට කැළණිය සිට පෑලියගොඩ දෙසට ගමන් කරමින් පවතී.

රජරට විශ්වවිද්‍යාලයේ පරිපාලනය මගින් ලබාදී ඇති අසාධාරණ පන්ති තහනම් 27ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 09ක් අරමුණු කරගනිමින් රජරට සරසවි සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ සතයග්‍රහයට දින 100 සපිරීම, සම සෞඛ්‍ය හා සෞන්දර්ය උපාධි ආණ්ඩුව කප්පාදු කිරීම, සබරගමුව හා ජයවර්ධනපුර සරසවි වල ශිෂ්‍ය සංගම් තහනම් කිරීම, කැළණිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාල වල පවතින උග්‍ර නේවාසිකාගාර ගැටළුව ඇතුළු කාරණා ගණනාවක් හේතුවෙන් මෙම පා ගමන පැවැත්වෙන බව අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසී ය.

මෙම පා ගමන සඳහා උතුරු, නැගෙනහිර සරසවි හැර දිවයිනේ අනෙක් සරසවි වල සිසුන් මේ සඳහා සහභාගීවන බවත් මේ සඳහා විශ්වවිද්‍යාල බලධාරීන් සමඟ සාකච්ඡා කළද කිසිදු තීරණයක් ලබා නොදුන් බවත් ඔහු අවධාරණය කළේ ය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 March 2014 13:14