April 23, 2024

ජනපති පොරොන්දුව මල්ඵල ගැන්වෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කඩිනමින් නවීකරණය කෙරුණු පාදුක්ක නව සති පොළ ඊයේ (24) ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණි.

මීට වසරකට පෙර පාදුක්ක ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කිරීමට ගිය ජනාධිපතිවරයා ජරාජීර්ණ වී තිබූ පාදුක්ක සති පොළ නිරීක්ෂණය කළ අතර එහිදී එම ප්‍රදේශවාසීන් මෙන් ම වෙළඳ ප්‍රජාව කළ ඉල්ලීමකට අනුව සති පොළ කඩිනමින් නවීකරණය කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මඟපෙන්වීම යටතේ සති පොළ කඩිනමින් නවීකරණය කෙරිණි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 122කි.

අක්කරයකට වැඩි භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති සති පොළ එළවළු, මාළු වෙළඳ කුටි ඇතුළු ව වෙළඳ කුටි 300කට අධික ප්‍රමාණයකින් සමන්විත වන අතර රථ වාහන නැවතුම්පොළක් මෙන්ම සනීපාරක්ෂක පහසුකම්වලින්ද සමන්විතය.

සමරු ඵලකය නිරාවරණය කොට සති පොළ ජනතා අයිතියට පැවරූ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වෙමින් වෙළඳමහතුන් මෙන්ම පාරිභෝගික ජනතාව සමඟ සුහද කතා බහකද නිරත විය.

පාදුක්ක සති පොළ ජනතා අයිතියට පැවරීමෙන් අනතුරුව මොරගහතැන්න ශ්‍රී මහා විහාරය වෙතද ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

එහි විහාරාධිපති පූජ්‍ය දොරන්නාවේ විමල නායක හිමිපාණන් වහන්සේද බැහැ දැක සුවදුක් විමසීය.

 

Rate this item
(0 votes)