March 28, 2024

දරු සැළකිලි නොලද පියා මරුට 

සිය දරුවන් නොසලකා හැරීම හේතුවෙන් සිත් තැවුලට පත් වූ මවක් සහ පියෙක් වස පානය කළ අතර මව මීට පෙර මරණයට පත් වූ අතර ඊයේ රාත්‍රියේ එම පියා ද මරණයට පත් ව ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි.

එලෙස මරණයට පත් ව ඇත්තේ 72 හැවිරිදි  නවගත්තේගම, කිරිමැටියාවේ පදිංචි බීඑම් ධර්මදාස නමැති පුද්ගලයෙකි.

ඔහු සමග එක් ව වස පානය කළ සිය බිරිඳ වූ එන්බී බණ්ඩර මැණිකේ අසාධ්‍ය තත්ත්වයෙන් පුත්තලම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඉකුත් 13 වැනි දා මරණයට පත් විය.

එම යුවල ගොවිතැන් කටයුතු කරගෙන ජීවත් ව සිටි අතර ඔවුන් දෙදෙනා ඉතා සුහද පවුල් ජීවිතයක් ගත කළ බව ගම්වාසීහු පවසති.

ඔවුන්ට පුත්‍රයින් තිදෙනෙකු සිටි අතර ඉන් එක් දරුවෙක් ග‍්‍රාම නිලධාරිවරයෙක් බව ද වාර්තා වේ.

සෙසු පුතුන් දෙදෙනා ද අසල්වාසි නිවෙස්වල ව සිටි අතර එම මහළු මව හා පියා දරුවන්ගෙන් වෙන් ව වෙන ම නිවසක ජීවත් ව ඇත. 

එම යුවලට මද වශයෙන් හෝ සැලකිලි දක්වා ඇත්තේ ඔවුන්ගේ බාල පුතාවන අතර ඔහු ද මාර්ග සංවර්ධන කටයුතුවල සේවයට ගොස් ලබන වැටුපෙන් ජීවත් වූ පුද්ගලයෙකි.

එම දරුවා ද තමන් නිසා දුක් විඳින බව කියමින් මහළු අඹු සැමි යුවල කලකිරීමට පත් ව සිටි බැවින් ඒ බව අසල්වාසීන් හා නිතර පවසා ඇති අතර දරුවන්ට හිරිහැර නොකර ජීවිතවලින් සමු ගැනීම වැදගත් බවත් ඔවුන් නිතර පවසා තිබූ බවත් අනාවරණ වී තිබේ.

එම මරණ පරික්ෂණ කටයුතු අද පුත්තලම මූලික රෝහලේ දී සිදු කිරිමට නියමිත අතර ඒ පිළිබඳ වැඩිදුර පරික්ෂණ නවගත්තේගම පොලීසිය සිදු කරයි. 

 ඔගස්ටින් ප‍්‍රනාන්දු  

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 March 2014 10:16