April 25, 2024

ඇමති කාන්තාවන් ගැන සොයයි

මෙරට කාන්තාවන් පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් ජාතික දත්ත තොරතුරු පද්ධතියත් සැකසීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

“e Women” නමින් නම්කර ඇති මෙම වැඩසටහන යටතේ මෙරට කාන්තාවන් පිළිබඳ පරිපාලන වාර්තා මගින් ලබාගන්නා දත්ත හා තොරතුරු හරහා මෙම නව පද්ධතිය සකස් කෙරේ.

කාන්තාවන් ආර්ථික හා සමාජයීය වශයෙන් සවිබල ගන්වමින් ඔවුන් විධිමත් ලෙස ජාතික සංවර්ධනයට දායක කරගැනීමේ දී මෙන්ම විවිධ පර්යේෂණ හා විශ්ලේෂණයන් සිදු කිරීමේ දී අවශ්‍ය වැදගත් තොරතුරු ඇතුළත් නිවැරදි දත්ත පද්ධතියක් සැකසීමේ අවශ්‍යතාව හඳුනාගත් මෙම අමාත්‍යාංශය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අංශය සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සහ එහි සමාරම්භක වැඩසටහන 09 වැනි දා හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

සංගණන හෝ සමීක්ෂණ මගින් පමණක් තොරතුරු ලබාගැනීමේ දී ඇතිවන විවිධ අඩුපාඩු මගහරවා ගැනීම මෙන්ම කාන්තා හිංසන පිළිබඳ තොරතුරු රැස් කිරීමේ දී වඩාත් ප්‍රායෝගික ක්‍රමවේදය වූ පරිපාලන වාර්තා මගින් තොරතුරු ලබාගැනීම මේ සඳහා යොදාගන්නා බව මෙහි දී අනාවරණය  විය.

e Women සංකල්පය යටතේ සිදුකෙරෙන මෙම වැඩසටහන හරහා මෙරට වැන්දඹු හා ගෘහමූලික කාන්තාවන්, ව්‍යවසායක කාන්තාවන්, විවිධ ලෙස හිංසනයට හා අතවරයට පත්වන කාන්තාවන් මෙන්ම සේවා වියුක්ති හා නියුක්ති කාන්තාවන් පිළිබඳ නිවැරදි දත්ත හා තොරතුරු ලබාගැනීමට නියමිතය.

Rate this item
(0 votes)