March 29, 2024

විදෙස් ජාතිකයාගේ සාක්කුවට විද්ද කළමනාකරුගෙන් ගංජා මතුවෙයි

චෙකොස්ලෝවැකියානු ජාතිකයෙකුගේ මුදල් සොරකමක් පිළිබඳ නිලාවේලි සංචාරක හෝටලයක කළමණාකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම හෝටලයේ ගංජා ජාවාරමක් ද කොටුකර ගැනීමට කුච්චවේලි පොලීසිය සමත් වී තිබේ.

 

ශ්‍රී ලංකාවට පැමිණි චෙකොස්ලෝවැකියානු ජාතිකයෙකු නිලාවේලි සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදි ඔහුගේ ඩොලර් 600ක් එම හෝටලයේ කළමනාකරු සොරකම් කර ඇති අතර සැකකරු ඊයේ (16) අත්අඩංගුවට ගැනීමට යාමේදී සංචාරක හෝටල්වල සිදුවන ගංජා ජාවාරමක සුලමුල හෙළි කරගැනීමට පොලීසියට හැකි වී ඇතැයි ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි. 

හෝටල් කළමනාකරුගේ කාමරයේ තිබී සොරාගත් ඩොලර් 600 සොයා ගෙක ඇති අතර‍ ඒ අවට පරික්ෂා කිරිමේදි ගංජා කිලෝවක පාර්සලයක්ද සොයාගැනීමත් සමග මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබේ. 

නිලාවේලි සංචාරක කලාපයේ හෝටල්වල විදේශිකයන්ට අලෙවි කිරිමට මෙම ගංජා රැගෙනවිත් ඇති බවට සැකකරන්නේ යැයි පොලිසිය කියයි. 

සැකකරු මොනරාගල, බුත්තල  ප්‍රදේශයේ  පදිංචිකරුවෙකි. චෙකොස්ලෝවැකියානු ජාතිකයා සිය මුදල් සොරකම් කිරිම සම්බන්ධයෙන් පොලිසියට කල පැමිණිල්ලක් අනුව මෙම ජාවාරමද අනාවරණය විය. කුච්චවේලි පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

මෙවැනි සිද්ධීන් කිහිපයක් මීට පෙරද වාර්තා වූ අතර සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් මෙවැනි සිදුවීම් තුළින් සංචාරයක ව්‍යාපාරයට බලපෑම් සිදුවිය හැකි බවත් සංචාරක හෝටල් හිමියෝ පවසති.

 

Rate this item
(0 votes)